ඞී. එස්. අයි. සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරගාවලියේ පළමු අදියර අද ඇරඹෙයි


ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ පාසල් වොලිබෝල් සංගමය එක්ව සංවිධානය කරන 15 වැනි ‘ඞී. එස්. අයි. සුපර් ස්පෝට්ස්’ පාසල් වොලිබෝල් තරගාවලියේ පළමු අදියර වන දිස්ත‍්‍රික් තරග අද (4) සිට 21 වැනිදා දක්වා පැවැත්වේ.

මෙම තරගාවලියේදී දිස්ත‍්‍රික්, පළාත් සහ ජාතික මට්ටම ලෙස අදියර තුනක් යටතේ, වයස 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ යන වයස් කාණ්ඩ තුනකින්, තරග පැවැත්වේ.

පළාත් තරගාවලි අගෝස්තු මස 3 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන අතර ජාතික මට්ටමේ තරග ඔක්තෝබර් මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා ද, ජාතික මට්ටමේ අවසන් මහ තරග ඔක්තෝබර් මස 25 සහ 26 දෙදින කොළඹදී පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලියට කණ්ඩායම් 5,473 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 65,000 ක් පමණ සහභාගි වන බව සංවිධාකයෝ පවසති. 1999 වසරේ ආරම්භ වූ මෙම තරගාවලියට 15 වැනි වසරටත් ඞී. එස්. අයි. සමාගම අනුග‍්‍රහය දක්වයි.

 


ඞී. එස්. අයි. සමාගමේ සභාපති නන්දදාස රාජපක්‍ෂ මහතා විසින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාට අනුග‍්‍රහක චෙක්පත නිල වශයෙන් ප‍්‍රදානය කළ අවස්ථාව. වොලිබෝල් සම්මේලනයේ ලේකම් සුසිල් රණසිංහ මහතාද ඡයාරූපයේ වෙයි.