ඝාතනයට හවුල් නැතැයි තංගල්ල හිටපු සභාපතිත් කියයි


තමාගේ චරිතය හා දේශපාලන ජීවිතයට හානි කිරීම සඳහා තම දේශපාලන හතුරන් තමා කුරාම් ෂේක් මිනී මැරුමට සම්බන්ධ කර ඇතැයි ද, තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ ප්‍රකාශ කළේය.

හිටපු සභාපති මෙසේ ද කීවේය.

මා දේශපාලනයට ආවේ වයස 24දි. කුරාම් ෂෙයික් සමග හෝ ඔහුගේ පෙම්වතිය සමඟ මගේ තරහක් නෑ. එදා ඔවුන් සමඟ ගැටුමක් ඇති වුණෙත් නෑ. වික්ටෝරියා දූෂණය කළෙත් නෑ. කුරාම් ඝාතනයට මගේ වගකීමකුත් නෑ.

පළමු වැනි සැකකාර ලහිරු කැලුම් ද විත්තු කූඩුවේ සිට ප්‍රකාශයක් කළේය.

එදා - 2011.12.24 වැනි දා- මා හෝටලයට ගියේ නත්තල් සාදයේ නටන්නයි. 150ක් පමණ එහි සිටියා. විදේශිකයනුත් හිටියා. ශාලාවේ හරියට එළිය තිබුණේ නෑ. රෑ 12ට පමණ රතිඤ්ඤා පත්තු වුණා. ගෝරියක් ගෝරියක් යනුවෙන් කවුද කෑ ගැහුවා. මා කිසිවකුටත් ගැහුවේ නෑ. කුරාම්ටවත් ඔහුගේ පෙම්වතියටවත් ගැහුවේ නෑ. අනිත් අය සමඟ මාත් දිව්වා. පසුව මා පොලිසියට ගියා. පසුවදා පියාත් නීතීඥයකුත් මා සමඟ ආවා. එදා රෑ පොලිසියෙන් මා රහස් පොලිසියේ ජගත් රෝහණට භාර දුන්නා.

ඔහු මගේ අත් පා බැන්දා. ඇසුත් බැන්දා. කොහේදෝ රැගෙන ගියා. පහර දුන්නා. පසුදා හෝටලයට ගෙනාවා. මූ තමයි මිනිහා කියා පොලිසිය එහිදී කිව්වා. පසුව උසාවියෙදි මා රිමාන්ඩ් කළා.

දෙවැනි සැකකාර සමන් දේශප්‍රිය මෙසේ කීවේය.

‘මම දෙදරු පියෙක්. හෝටලයට එදා ගියේ මුල් වතාවටයි. මටත් පොල්ලකින් කවුදෝ ගැහුවා. යකෝ මොනවන බලන්නේ කියා කවුදෝ මගෙන් ඇහුවා. කුරාම් මරා දමා ඇති බව දැනගත්තේ පහුවැනි දා.

සිව්වැනි සැකකාර ප්‍රදීප් චතුරංග සිය ප්‍රකාශයෙන් මෙසේ කීවේය.

‘කුරාම්ගේ පෙම්වතිය මම දූෂණය කළේ නැහැ. එතන රණ්ඩුවක් ඇති වුණු බව දැක්කා. බෝතල්වලින් ගහ ගත්තා. බෝතල් බිඳී තිබුණා.

පස් වැනි සැකකාර සරත් සහන් මෙසේ කීවේය.

‘මට උපාධියක් තිබෙනවා. දහම් පාසලෙත් උගන්වා තිබෙනවා. මම මානව සම්පත් කලමනාකරුවෙක්.‘

 ප්‍රගීත් චතුරංග නම් සැකකරු ද විත්ති කූඩුවේ සිට පැවසුවේ තමා මේ අපරාධයට හවුල් නොවූ බවයි.

අඟහරුවාදා (08) පැමිණිල්ලේ දේශන ඇරැඹීමට නියමිතය.