ගෝතමාලා- ලංකා අවබෝධතා ගිවිසුමක්


(අංජුල මහික වීරරත්න)

ගෝතමාලාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ගෝතමාලාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී ඇත.

යෝජිත ගිවිසුම මඟින් දේශපාලන, ආර්ථික, කොන්සියුලර්, සංස්කෘතික, විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගිතාව ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම, ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම අරමුණු කර තිබේ.

 ඒ අනුව, වසර පහක (5) ආරම්භක කාල සීමාවක් සඳහා, යෝජිත අවබෝධතා ගිවිසුම දෙරට අතර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.