(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමේ අරමුණෙන් සහ දේශපාලන පළිගැනීමේ අරමුණෙන් ද්වේෂ සහගතව මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇතැයි රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (03) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.
එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය ලබා දුන් අවස්ථාවේ තවත් 21 දෙනකුටත් පුරවැසිභාවය ලබා දී තිබෙන බවත්, ඒ අනුව එම 21 දෙනොගේ ද ද්විත්ව පුරවැසිභාවය අවලංගු කළ යුතු යැයි ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
ජනාධිපති නීතිඥවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින්, ශ්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම ඊයේ (3) දෙවැනි දිනයටත් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ දීය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
රාජ්‍ය පරිපාලන සා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා මෙසේ පැවසීය.
“නීතිපතිවරයා සිය කරුණු දැක්වීමේ දී අදාළ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය අත්සන් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බලය ඇති බව පැවසුවා. එයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට බලය ඇතැයි නීතිපතිවරයා කියා සිටියා.
පළමුව විධායක ජනාධිපතිවරයාට එවැනි බලයක් ඇති දැයි සොයා බැලිය යුතුයි. නීතිපතිවරයාගේ තර්කය වන්නේ විධායක ජනාධිපතිට Pleanary බලය තිබෙන බවයි. Pleanary බලය යනුවෙන් අදහස් කරන්නේ පූර්ණ බලය යන්නයි.
අපි දැන් අවධානය යොමු කළ යුත්තේ 17 වැනි සංශෝධන ව්‍යවස්ථාවටයි. එහි සඳහන් වන්නේ එය උත්තරීතර ලියවිල්ලක් බවයි.
සභාපති විනිසුරු: ඒ සඳහන් වන්නේ ව්‍යවස්ථාවේ ප්‍රඥප්තියේ නේද?
නීතිඥ චානක ද සිල්වා මහතා: එම ව්‍යවස්ථාවේ අරමුණ රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, පුරවැසියන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම බව පැහැදිලිව සඳහන් වනවා. ඒකාධිපති තත්ත්වයකට යන්න එහි ඉඩකඩ නැහැ. ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය අනුව රටෙහි ස්වෛරීභාවය ජනතාව විසින් විධායකයට සහ ව්‍යවස්ථාදායකයට පවරා තිබෙනවා. එය අන්සතු කළ නොහැකි බවත් සඳහන් වෙනවා. ව්‍යවස්ථාව පිළිබඳ සලකා බැලිය යුත්තේ සමස්තයක් හැටියටයි. ව්‍යවස්ථාදායකයට පමණක් ව්‍යවස්ථාදායක බලය පූර්ණව හිමිවන්නේ නැහැ. සමහරක් ව්‍යවස්ථාදායක බලතල පළාත් සභාවලටත් ලබා දී තිබෙනවා. ඒනිසා ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය දෙස පමණක් බලා විධායක බලය තීරණය කරන්න බැහැ. විධායක බලය ජනාධිපති, අමාත්‍ය මණ්ඩලය රාජ්‍ය සේවය ආදියට බෙදී යනවා. ඒවාත් විධායකයේ කොටස්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වැනි වගන්තිය අනුව රටේ ප්‍රධානියා, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ විධායක ජනාධිපතිවරයායි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වගන්තිය අනුව විධායක ජනාධිපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.
මේ අවස්ථාවේ දී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ලිපි ගොනුව නොමැතිවීම පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා නීතිපතිවරයාට නියෝග කළේය.
නීතිඥ චානක ද සිල්වා මහතා යළිත් කරුණු දක්වමින්: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (1) වගන්තිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතුයි. ඉන් කියැවෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව ජනාධිපතිවරයා තීරණය කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් අදාළ විෂයන් ඒ ඒ අමාත්‍යවරයාට පැවරිය යුතුයි. 44 (1) සහ 44 (2) යන වගන්ති ක්‍රියාත්මක කළ යුත්තේ එකටයි. 44 (1) වගන්තිය වෙනම වගන්තියක් නොවෙයි.
ඒ අනුව විධායක ජනාධිපතිවරයාට පූර්ණ බලතල හිමි වන්නේ නැහැ. බලය විමධ්‍යගත කිරීම පිළිබඳ හත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මේ බවට පැහැදිලි කර තීන්දුවක් ලබා දී තිබෙනවා. ඉන් පැහැදිලිව කියා ඇත්තේ ව්‍යවස්ථාව මගින් ඒකාධිපතියකු නිර්මාණය කිරීම වළකා ඇති බවයි. ඒ අනුව විධායක ජනාධිපතිවරයකුට සිය බලතල බෙදා දීමට ප්‍රථම, හිතුමතේ ක්‍රියාකළ නොහැකියි. ඉන් පැහැදිලි වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය විෂයන් ඇමැතිවරුන්ට පැවරීමට ප්‍රථම ද්විත්ව පුරවැසිභාව සහතිකයට අත්සන් තැබීම නීතියට පටහැනි වේ. ඔහුට එවැන්නක් කිරීමට කිසිදු බලයක් නැහැ.
මා මේ මොහොතේ දී තවත් කරුණක් පිළිබඳව අධිකරණයේ අවධානය යොමු කරනවා. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අයැදුම්පතක් නැහැ. හැබැයි ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකයක් තිබෙනවා. අනෙක් අයැදුම්කරුවන්ගේ අයැදුම්පත්වල අංක පිළිවෙළට සඳහන් වෙනවා. හැබැයි 5 වැනි වගඋත්තකාර ගෝඨාභය රාජපක්ෂ මහතාට එවැනි අංකයක් නැහැ.
ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙසේ ද කීය.
රටේ විධායක ජනාධිපතිවරයාට පූර්ණ බලතල නැතැයි නීතිඥ චානක ද සිල්වා මහතා පැවසුවා. රටේ විධායක ජනාධිපතිවරයාට පූර්ණ විධායක ජනාධිපති බලතල ලැබුණු ආකාරය මම පෙන්වා දෙන්නම්. 1972 ජනරජ ව්‍යවස්ථාව අනුව ජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය වුණේ රාජ්‍ය මන්ත්‍රණ සභාවෙනුයි. ජනතාවගේ බලය ක්‍රියාත්මක කරනු අපි බව ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා වරෙක සඳහන් කර තිබුණා. ඒ අනුව උත්තරීතර වන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාවයි.
සභාපති විනිසුරු: ඒ කියන්නේ ජනාධිපතිට බලතල නැහැ කියල ද?
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා: ඔව්. 1972 ජනරජ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට බලයක් නැහැ. ජනතාව බලය දෙන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිතයන් වෙතයි. 1972 වසරේ දී තමයි අපි පූර්ණ නිදහසක් ලබා ගෙන ජනරජයක් වුණේ. 1977 වසරේ දී රාජ්‍ය මන්ත්‍රණ සභාව සතුව තිබූ විධායක බලය, එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් විධායක ජනාධිපති ධුරයට පවරා ගත්තා. ජනාධිපති ඒ බලය බලෙන් ලබා ගත්තේ නැහැ. රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින්ම ජනතාව සතු විධායක බලය විධායක ජනාධිපති ධුරයට ලබා දීමයි සිදු වූයේ.
සභාපති විනිසුරු: ඒ කියන්නේ ජනතාව සතු ස්වෛරී බලය විධායක ජනාධිපතිට දුන්නා.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා: ඔව්, ඒ අනුව තමයි 1978 ව්‍යවස්ථාව නිර්මාණ වන්නේ.
සභාපති විනිසුරු: 19 වැනි සංශෝධනය අනුව ද?
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා: මම මේ කතා කරන්නේ 19 වැනි සංශෝධනයට පෙර තත්ත්වය පිළිබඳවයි. මේ සිද්ධිය වූයේ ඊට පෙරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (2) වගන්තිය අනුව ජනාධිපතිවරයා සතු බලය අමාත්‍යවරුන්ට පැවරිය යුතුයි. මෙහි කොතැනකවක් සඳහන් වන්නේ නැහැ ජනාධිපතිවරයා සතු සියලුම බලතල අමාත්‍යවරුන්ට පැවරිය යුතුයි කියලා. එම වගන්තියෙන් කියා සිටින්නේ විධායක ජනාධිපතිවරයාට තමන් යම් අමාත්‍යාංශයක් පවරනු නොලැබ සිටී යන්නයි. ඒ කියන්නේ ජනාධිපතිවරයාට තමන්ට කැමති නම් ඕනෑම අමාත්‍යාංශයක් තමන් සතුව තබා ගත හැකියි යන්නයි
.
සභාපති විනිසුරු: අමාත්‍යවරුන්ට බලතල පැවරීමේ දී නියමිත කාලයක් සඳහන් වනවාද?
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා: ව්‍යවස්ථාවේ එහෙම සඳහනක් නැහැ. ජනාධිපති දිවුරුම් දුන් හැටියේම අමාත්‍යාංශ පැවරිය යුතුයි කියලයි සඳහන් වන්නේ. පැයකින්, දිනයක් තුළ පැවරිය යුතුයි කියලා සඳහන් වන්නේ නැහැ. අමාත්‍යාංශ පවරන තුරු සියලුම බලතල ජනාධිපතිවරයා සතුයි.
ජේ.ආර්. ජයවර්ධන මහතා මෙම ව්‍යවස්ථාව නිර්මාණය කළෙත් ඒ අරමුණිනින් යුතුවයි.
සභාපති විනිසුරු: 19 වැනි සංශෝධනයෙන් පසු 44 (2) වගන්තිය සංශෝධනය වූවා ද?
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා: කිසිදු සංශෝධනයක් නැහැ. "Continue remaining"කියන වචනය ඇතුළත් වෙලා තිබෙනවා. ඒ ඉංග්‍රීසි පිටපතේයි. සිංහල පිටපතේ “පැවරිය නොලැබ සිටිය හැකි යන්න” සඳහන් වෙනවා.
සභාපති විනිසුරු: 44 (2) වගන්තියේ යම් අපැහැදිලිතාවක් තිබේ නම් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීම හොඳයි නේද?
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා: එවැනි අවශ්‍යතාවක් මතු වන්නේ නැහැ. 44 (2) වගන්තිය අනුව ඕනෑම අමාත්‍යාංශයක් ජනාධිපතිවරයාට ඕනෑම කාලයක් තබාගත හැකියි.
පුරවැසිභාවය යන විෂය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනෙන විෂයක්. මෙම ද්විත්ව පුරවැසි සහතිකයට අත්සන් කරනවිට ජනාධිපතිවරයා බලතල බෙදා නැහැ. ඒ අනුව ඔහුට ආරක්ෂක අමාත්‍ය බලතල තිබෙනවා. මෙම සහතිකයට අත්සන් කළ දින ගෝඨාභය ඇතුළු 21 දෙනකුටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය අත්සනින් යුතුව ද්විත්ව පුරවැසිභාවය ලබා දී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා හැටියට වසර 15ක් සේවය කර තිබෙනවා. ද්විත්ව පුරවැසියකුට ආරක්ෂක ලේකම් ධුරය දැරිය නොහැකියි. ඒ කිසිදු අවස්ථාවක දී මෙම ගැටලුව මතු වූයේ නැහැ. මෙය දේශපාලන අරමුණින් ඉදිරිපත් කළ පෙත්සමක්. මෙහි අරමුණ වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමයි. මෙය එක්තරා පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක්. ආයාසයෙන් නිර්මාණය කළ පෙත්සමක්.
මේ අවස්ථාවේ දී අදාළ ප්‍රවෘත්තිය සහ පෙත්සමෙහි අඩංගු කරුණු සංසන්ධනය කරමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට කරුණු පැහැදිලි කළේය.
පෙත්සම්කරු ඉදිරිපත් කරන තවත් කරුණක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනාධිපති වුවහොත් රටේ භෞමික අඛණ්ඩතාවට හානි බවයි. මේ රටේ භෞමික අඛණ්ඩතාව රැකදුන්නේ කවුද? ඒ ගෝඨාභය කියලා මේ රටේ ඕනෑම පුරවැසියෙක් දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙනවා. මෙය සද්භාවයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් නොවෙයි යැයි ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර අමාත්‍යාංශයක ලේකම්වරයකු නොමැති අවස්ථාවක දී ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකයට ආරක්ෂක අමාත්‍යවරයාට අත්සන් කළ හැකි ද? යන්න පිළිබඳ ලිඛිත දේශන ප්‍රශ්න උත්තර ආකාරයට ලබා දෙන ලෙස සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයට දැනුම් දුන්නේය.
වැඩිදුර විභාගය අද (4) පෙරවරු 9.30 දක්වා කල් තැබිණි.
ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ආර්.එම්.පී.එස්.බී. රත්නායක, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති එල්. දිසානායක යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.
විදානපතිරණ ඇසෝසියේට්ස් නීතිඥ සමාගම මාර්ගයෙන් ඉදිරිපත් කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.
පෙත්සම්කරුවන් ශ්‍රී ලාංකික පුරවැසියන් වන අතර පළමු පෙත්සම්කරු පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ලෙස ද දෙවැනි පෙත්සම්කරු ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වශයෙන් ද සේවය කරති. ශ්‍රී ලාංකික පුරවැසිභාවය අතහැර ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් බවත්, ඔහු ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවත් අගෝස්තු 5 වැනිදා දැන ගන්නට ලැබිණි. ඔහු නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගෙන ඇති අතර එය භාවිත කරමින් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබාගෙන ඇතැයි පෙත්සම්කරුවන්ට දැන ගැනීමට ලැබී ඇත. එම පුරවැසිභාවය හෝ ජාතික හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍ර හෝ ලබාගැනීමට අදාළ ආයතන මගින් ලිපිගොනු පවත්වාගෙන ගොස් නැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 වගන්තිය සමග කියැවෙන 89 (ඒ) දරන වගන්තිය අනුව ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන අයකුට ජනාධිපති ධුරයට පත්විය නොහැකිය. වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසිභාවය සඳහා අයැදුම්කර ඇති 2005 නොවැම්බර් 18 සහ 24 අතර කාලයේ දී අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයකු නොසිටි බව ද මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කර ඇත්තේ නීතියෙන් නියමිත ක්‍රමවේදය අනුව නොවේ යැයි ද ඒනිසා එම සහතිකය නීත්‍යානුකූල නොවන බව ද පෙත්සම්කරුවෝ කියා සිටිති.
එම ද්විත්ව පුරවැසි සහතිකය භාවිත කර ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගෙන ඇති අංක 8305500 දරන ගමන් බලපත්‍රය සහ අංක 194917210010 දරන ජාතික හැඳුනුම්පත නීත්‍යානුකූල නොවන බව කියා සිටින පෙත්සම්කරුවෝ එබැවින් එම ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ද ඉල්ලා සිටිති. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම සහ කටයුතු කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එම ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙනී සිටි අතර පස්වැනි වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ද හයවැනි වගඋත්තරකාර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ද පෙනී සිටියහ.
වගඋත්තරකාර රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් නීතිඥ ශානක ද සිල්වා මහතා පෙනී සිටියේය.
නීතිපති, ආගමන විගමන පාලක හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින්පුල්ලේ මහතා පෙනී සිටියේය.

