ගොවි අරමුදලේ කෝටි 134ක් ’’ෆික්ස් ඩිපොසිට්’’ දාලා


(සුජිත් හේවාජුලිගේ)

ගොවීන්ගේ   බාරකාර අරමුදල  ගොවීන්ට සුභසාධනය  වෙනුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක නොකර රුපියල් කෝටි 134 කට වැඩි මුදලක් පොලී ආදායම් අපේක්ෂාවෙන්  බැංකු ඇතුළු  විවිධ ස්ථානවල   ආයෝජනය කර අරමුදලේ පරමාර්ථවලින්  පිට  පැන කටයුතු කර  ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

බැංකු ගිණුම්වල රුපියල් කෝටි 11කට වැඩි මුදලක්ද  වෙනත් ස්ථානවල කෝටි 123 කට වැඩි මුදලක්ද  මෙසේ ආයෝජනය කර ඇත.

මෙරට  ගොවි ජනතාවගේ කෘෂිකාර්මික සංවර්ධනය සහ සුභ සාධනය වැඩි දියුණු කිරීම, සුළු ගොවීන් සඳහා කෙටි කාලීන කෘෂිකාර්මික ණය පහසුකම් සැපයීම, සුළු ගොවීන් සඳහා කෘෂි යෙදවුම් සම්පාදනය , මුදල් දුෂ්කරතාවයන් මගහරවා ගැනීම සඳහා සුළු ගොවීන්ට වෙළඳපොළ ණය පහසුකම් සැපයීම, බෝග සහ සත්ව නිෂ්පාදන හා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සුළු ගොවීන්ට සහායවීම, කෘෂිකාර්මික සංවර්ධනයට  පහසුකම් සැපයීම උදෙසා විශේෂිත කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙම භාරකාර අරමුදලේ පරමාර්ථ බව පවසන ජාතික විගණන කාර්යාලය එම අරමුදල එකී පරමාර්ථ ඉටුවන අයුරින් 2024 වර්ෂයේදී ව්‍යාපෘති සැලසුම් කර නොතිබූ බවද ප්‍රකාශ කළේය.

මේ අනුව අරමුදලේ පරමාර්ථ ඉටුවන අයුරින් ව්‍යාපෘති සැලසුම් කර මුදල් උපයෝජනය කරන ලෙස ජාතික විගණන කාර්යාලය එම අරමුදලේ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.

මේ සම්බන්ධයෙන් විගණනයට කරුණු දක්වන එහි පාලනාධිකාරිය පෙන්වා දී ඇත්තේ ගොවීන්ගේ භාර අරමුදල තවදුරටත් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බැවින් නව ව්‍යාපෘති සඳහා මුදල් නිදහස් කිරීම තාවකාලිකව නතර කළ බවයි.

එබැවින් අරමුදලේ අතිරික්ත මුදල් ආයෝජනය කළ බවද ඔවුන් ප්‍රකාශ කර ඇත.

එසේම මෙම භාරකාර අරමුදල සඳහා කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ පටිපාටියක් සකස් කර අනුමත කරගෙන නොතිබූ බවද එම විගණන වාර්තාවේ සඳහන්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ ගොවීන්ගේ භාරකාර අරමුදලේ 2024 විගණන වාර්තාවේය.