දැඩි පෑවිල්ල නිසා පීදෙන ගොයම පිළිස්සීයාමෙන් ආරක්ෂා කරගැනීමට ගොවීහු කළ හැකි සියලුම දේ කරමින් සිටිති. කූඹුරු මැද අඩි අට දහය තරමේ වළවල් කපා ලබා ගන්නා ජලය පීදෙන ගොයමට ඉසිමින් එය රැක ගන්නට අසීරු උත්සාහයක යෙදෙන ගොවීහුද දැක ගත හැකිය.
මීරිගම සහ වේයන්ගොඩ අයත් වන්නේ වියලි කලාපයට නොවේ. එහෙත් මීරිගම උතුවම්බෝගහවත්ත සිට වේයන්ගොඩ වඳුරව දක්වා කිලෝ මීටර් හතරක පමණ දුරට පැතිරී ඇති කුඹුරු යායේ අක්කර 200 කට වැඩි ප‍්‍රමාණයක කුඹුරු යායේ ගොවීහු 300 ක් පමණ දෙනා මෙම තත්ත්වයට මුහුණ දී සිටිති.
මෙම කුඹුරු යායේ මෙවැනි තත්ත්වයක් උද්ගතවූයේ ඉතිහාසයේ පළමු වතාවට බව ගොවීහු කියති. පීදුණු ගොයම රැක ගන්නට රුපියල් 4000 ක් බැගින් ගෙවා වතුර බවුසර හය හතක් ගෙනැවිත් දැමුව ද එම උත්සාහය අසාර්ථකවීම නිසා අතහැර දමා ඇත.
විශාල හානියක් සිදුව ඇතත් කිසිම වගකිවයුත්තකු මෙතෙක් මේ ගැන සොයා නොබැලූ බව ගොවීහු පැවසූහ. දැන් ගොවිතැන රැක ගැනීමේ අවස්ථාව අහිමිව ගොස් ඇති බැවින් වගා හානිය බලා සුදුසු පියවරක් ගන්නා ලෙස ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.






