ගොන්ගල රේඩාර් පද්ධතියෙන් කෝටි 8ක පාඩුවක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගොන්ගල ප්‍රදේශයේ  රේඩාර් පද්ධතියක් ඉදිකිරීමේදී රජයට රුපියල් කෝටි 8කට ආසන්න වටිනා පාඩුවක් සිදුවී ඇතැයි  රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය.

මෙම රේඩාර් පද්ධතිය දෙනු ලැබ ඇතැයි පැවසෙන්නේ ලෝක කාලගුණ විද්‍යා සංගමය විසිනි.

පසුගිය 2019,2020 සහ 2021 වසරවල විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය  විමසීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ  ප්‍රධානීන්  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණයවිය.

කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන්  රැස්විය.

මෙම රේඩාර් පද්ධතිය සදහා 2008 වර්ෂයේදී ස්ථාපනය කිරීමට රුපියල් කෝටි 40කට වැඩි මුදලක් වැය කර ඇති බවත්  ඉන් රුපියල් කෝටි තිස් දෙකකට වැඩි මුදලක් ලෝක කාලගුණ විද්‍යා සංගමය දරා ඇති බවත් මෙහිදී තොරතුරු හෙළි විය.

මෙම ව්‍යාපෘතිය මෙරටට රැගෙන ඒමට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියකු  යන්ත්‍රය පරීක්ෂාකර බලා මෙය ක්‍රියාත්මක තත්වයේ නැති බැවින් මෙරටට රැගෙන නොඑන ලෙස දැනුම්දී ඇතිබවද කමිටුවේදී තොරතුරු අනාවරණය විය.

අදාළ ස්ථානයට මාර්ගයක් සකස් කිරීමට  වසර ගණනාවක් ගතව ඇතිබවත් එහිදී මෙම උපකරණ යල්පැනගිය තත්ත්වයට  පත්වූ  බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.

අනතුරුව මෙය රැගෙන යන දොඹකරය හා මාර්ගය කඩාවැටීම නිසා යම් උපකරණ ප්‍රමාණයක් විනාශ වී ඇති බවත් ඉතිරි උපකරණ අස්ථානගතවී ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ. මේ සම්බන්ධයෙන් පොලිසිය සහ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවත්  තොරතුරු හෙළිවී යැයි කෝපා කමිටුව පවසයි.

මේ අනුව විශාල අලාභයක්ද සමග  සම්පූර්ණයෙන්ම  අසාර්ථක වී ඇති මෙවැනි ව්‍යාපෘති වෙනුවට නවීන  තාක්ෂණය සමග කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව නිවැරදි අනාවැකි ඉදිරිපත්කිරීම සඳහා  ඵලදායි ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය.

පවතින නියං තත්ත්වය පිළිබද නිවැරදී අනාවැකි යොමු නොකිරීම පිළිබදව පවතින වාර්තා සම්බන්ධයෙන් මෙහිදී කමිටුව විමසා සිටියේය.. මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ පසුගිය අප්‍රේල් මාසයේදී  වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය ඇතුළු අදාළ රාජ්‍ය ආයතන ඇතුළු කලාපීය රටවල් සමග පවත්වන ලද  මෝසම් කථිකාව නම් සාකච්ඡාවේදී මේ පිළිබදව දැනුම් දුන් බවයි.

මේ අතර වර්ෂාමාන 453ක් පිහිටුවා තිබියදී ඉන් 73ක් අක්‍රීයව පැවතීම පිළිබද  කමිටුවේ අවධානය යොමු විය. එසේම 2018  වසරේදී  ස්වයංක්‍රීය වර්ෂාමාන 122 ක්  ස්ථාපිත කර තිබුණද බැටරි ක්‍රියාත්මක නොවීම වැනි කරුණු නිසා දැනට 70ක් ක්‍රියාත්මක නොවීම පිළිබදව මෙහිදී සාකච්ඡා කිරීම කෙරිණ.මෙම වර්ෂාමාන නිසි පරිදී ස්ථාපිත කොට ක්ෂණිකව දත්ත ලබා ගත හැකි වැඩපිළිවෙලක් මසක් තුළ ඉදිරිපත් කරන ලෙස දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

දෙපාර්තමේන්තුව සතුව විගණන නිලධාරියකු නොමැති බැවින් විගණන කමිටු පවත්වා නැතිබවද හෙළිවිය. රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව මැන බැලීමේ කෝපා කමිටු වැඩපිළිවෙලේ අවම ලකුණු ලබාගත් ආයතනයක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවතින බව පෙන්වා දුන් කමිටු සභාපතිවරයා ආයතනයේ  දුර්වල පරිපාලනය පිළිබද දැඩි අප්‍රසාදය පළ කළේය. එබැවින් පරිපාලන ගැටලු කඩිනමින් විසදා ගැනීමට මීට වඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම සිදුකරන ලෙස  ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

මෙම කමිටු රැස්වීමට රාජ්‍ය අමාත්‍ය  ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  කබීර් හෂීම්,  අශෝක් අබේසිංහ,  මේජර් ප්‍රදීප් උදුගොඩ,  සහන් ප්‍රදීප් විතාන සහ   මංජුලා දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.