ගොඩහේවාට එරෙහි නඩුව ජූලි 26 විභාගයට


‘තාරුණ්‍යයට හෙටක්‘ සංවිධානයට ලබා දුන් රුපියල් ලකෂ 50ක මුදලක් සාපරාධි  ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට විනිමය හා සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුලි මස 26 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී ගුණතිලක රණවක මහත්මිය අද (09) නියම කළාය.

ගොඩහේවා මහතාට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ  විනිමය හා සුරැකුම්පත් කොමිසමේ අධ්‍යෂක ධම්මික පෙරේරා සහ එහි ක්‍රීඩා අධ්‍යෂක රොනී ඊබ්‍රාහිම් යන මහත්වරුන්ය.

2013 අගොස්තු මස 06 වැනිදාත් 18 වැනිදාත් අතර කාලයේ විනිමය හා සුරැකුම්පත් කොමිසමේ අධ්‍යෂක මණ්ඩලයේ අනුමැතිය මත ‘තාරුණ්‍යයට හෙටක්‘ සංවිධානය වෙත නිදහස් කළ  රුපියල් ලකෂ 50ක මුදලක් එම සංවිධානයට බාර නොදී සිලෝන් ප්‍රීමියර් ස්පෝර්ට්ස්  ලිමිටඩ් ආයතනයට බැර කිරීමට කුමන්ත්‍රණය කරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව නීතීපත්වරයා විසින් චෝදනා නඟා ඇත.