
(ඩයනා උදයංගනී)
ගත වූ දින කිහිපයක කාලයේ දී බිල් නොගෙවීම නිසා පවුල් 87,000ක ජල සැපයුම් විසන්ධි කර ඇති බවත්, විදුලිබල පරිභෝජනය ද සියයට 20 කින් අඩු වී ඇති බවත් නිදහස ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල් .පීරිස් මහතා පැවසීය.
මෙවැනි තත්වයක් තුළ දැඩි පීඩාවකට පත්ව සිටින මෙවැනි ජනතාවගේ ප්‍රතිචාර දන්නා නිසා රජය මහා පරිමාණ දැවැන්ත මර්දනයකට සූදානම් වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඒ සඳහා වන නීතිමය අඩිතාලම ඇතිකරගැනීම සඳහා ඉතා භයානක පනතක් වන ත්‍රස්ත විරෝධී පනත සම්මත කරගැනීමට රජය උත්සාහ ගන්නා බව ද පීරිස් මහතා කීවේය.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ දී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
යෝජිත ත්‍රස්ත විරෝධී පනත තරම් භයානක පනතක් පසුගිය දශක දෙකකදී පමණ මෙරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නැතැයි කී මන්ත්‍රීවරයා එය පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා භයානක එකක් බව ද කීවේය.
යාර ගණනක් දිගට සකස් කර ඇති රජයේ අත්‍යවශ්‍ය සේවා ලැයිස්තුව උල්ලංඝනය කළහොත් අනිවාර්ය නිවාඩු යවා රැකියා අහිමි කිරීමේ ප්‍රතිපාදන මෙන්ම විරෝධතා කරන පුද්ගලයන් ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුන්වා දේපල හා මුදල් රාජසන්තක කරන උත්සාහයක් මෙහි ඇතුළත් අතර, මාධ්‍ය හා සමාජ මාධ්‍යවලට ඒවා වාර්තා කිරීමේ නිදහස ද මෙමගින් අහිමිවන බව පීරිස් මහතා සඳහන් කළේය.
එමෙන්ම රඳවාගැනීමේ නියෝග යටතේ පුද්ගලයන් වසරක් සිරගත කර තබාගැනීමේ අවසරය මෙමගින් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ලැබෙන අතර, එය සම්මත වුවහොත් මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද රටට අවාසි වන බව මන්ත්‍රීවරයා පැවසීය.
කිසිදු ජන මතයක් නොමැති ආණ්ඩුවකට මෙවැනි පනතක් ගෙන ඒමට කිසිදු සුජාතභාවයක් නැති බව කී පීරිස් මහතා ලැබුණු ජනවරමට පයින් ගසා ජනතාව අන්දා කරන මේ වැඩපිළිවෙලට අවසරදීමට වත්මන් පාර්ලිමේන්තුවට කිසිම සදාචාරාත්මක අයිතියක් නැතැයි ද කීවේය.

