ගූගල් ලූන් මුල් බැලුනය ගම්පොළ තේ වත්තකට


ශ්‍රී ලංකාවට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා ඇමරිකාවේ කැලිෆෝනියාවේ ගූගල් සමාගම හා ශ්‍රී ලංකාව එක්ව ක්‍රියාත්මක කරන වැඩසටහන මගින් ගුවනට යැවූ ‘ගූගල් ලූන්‘ බැලූනය බදාදා (17) රාත්‍රියේ ගම්පොළ, පුපුරැස්සේ තේ වත්තකට පතිතවූ බව ගැමියෝ කියති.

ගූගල් ලූන් සමාගමේ ඉංජිනේරුවන් පවසනුයේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවෙන් ලැබුණු අවසරය අනුව බැලූනයේ අත්හදා බැලීම අවසන්වූ බවයි.

කැලිෆෝනියාවෙන් ගුවනට ඇතුළු කළ මෙම බැලූනය හම්බන්තොටින් ශ්‍රී ලංකාවට ඇතුළුවී බදුල්ලෙන් මැදරටට පියාසර කළ බවත් ඔවුහු කියති.

ගම්පොළ පුපුරැස්සේ, කළුගල තේ වත්තකට බැලූනය බදාදා රාත්‍රී 7.30ට පමණ පතිත වූ බවත් තම අත්හදා බැලීම අවසන් කළ බවත් ගූගල් ලූන් ඉංජිනේරුවෝ කියති.

මෙම බැලූනය ගුවන්ගත කරද්දී එහි ආයු කාලය වූයේ දින 170කි.

වත්තේ ගැමියන් කියනුයේ උස ගසක් අතරින් තේ පඳුරු මතට මෙම බැලූනය පතිතවූ බවයි. ඔවුන් දකිනවිට බැලූනයේ හුළං නොතිබූ බවද කියති. මෙම ව්‍යාපෘතිය බාර විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඔහුගේ ට්විටර් වෙබ් අඩවියෙන් කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ ගුවන් නීතිරීති අනුව බැලූනය ආරක්ෂා සහිතව ගොඩබෑ බවයි. එම බැලුනයේ මෙහෙවර සාර්ථකවූ බවද ඇමැති කියයි.

ජංගම දත්ත අධිවේගයෙන් රැගෙන යන එල්ටීඊ තාක්ෂණය මෙම බැලූනයට යොදා ගනී. බැලූන් යොදා ගනිමින් ශ්‍රී ලංකාවට අධිවේගී අන්තර්ජාල පහසුකම් සැලසීම සඳහා වන මුල්ම අත්හදා බැලීම පසුගිය සඳුදා ආරම්භ කළ බව ගූගල් ලූන් සමාගමේ මුහුන්දන් කානගී කියයි.

එහි මුල්ම අත්හදා බැලීම සඳහා බැලූන කිහිපයක් සුළඟේ පාවී යන ක්‍රමයට ගුවනේ අපරිවර්තී ගෝලයට මුදාහළ බව ඔහු කියයි. විදුලි සංදේශ සමාගම්වලට මෙම බැලූන්වලින් සැපයෙන සන්නිවේදන ජාලය පාවිච්චි කළ හැකි බවද ඔහු පවසයි.

මේ මාසය අන්තිමට තවත් බැලූන් දෙකක් ගුවන්ගත කෙරේ. එකක් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයටද අනෙක දකුණු අප්‍රිකාවේ නැගෙනහිර වෙරළටද යොමු කෙරේ. මෙම බැලූන්වල තාක්ෂණික කරුණු ගැන සොයා බැලීමට ගූගල් කණ්ඩායමේ තවත් සාමාජිකයන් ශ්‍රී ලංකාවට එනු ඇතැයිද කානගී කියයි.

ශ්‍රී ලංකාවේ දෙකෝටියක් පමණ වන ජනගහණයෙන් කාලකට අඩු පිරිසක් අන්තර්ජාල පහසුකම් ලබති. ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන දත්ත සම්බන්ධතා ලක්ෂ 33කි. හය ලක්ෂ තිස් දහසකට ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතා ඇති බවත් ඔහු පවසයි. ගූගල් සමාගම සමග 25%ක දායකත්වයක් ඇති හවුල් ව්‍යාපාරයක් අරඹා අධි තාක්ෂණ අන්තර්ජාල පහසුකම් සැපයීමට හීලියම් වායුව පිරවූ බැලූන් යොදාගන්නා බවත් මෙම බැලූන් වාණිජ ගුවන්යානා පියාසර කරන මට්ටමට ඉහළින් පියාසර කරයි.

ශ්‍රී ලංකාව මෙම ව්‍යාපෘතියට ප්‍රාග්ධනයක් නොයොදවයි. 1989 දී ජංගම දුරකථන හඳුන්වාදුන් දකුණු ආසියාවේ මුල්ම රට ශ්‍රී ලංකාවයි. 2004 දී තෙවැනි පරම්පරාවේ තාක්ෂණය (3ජී) හඳුන්වාදුන් ශ්‍රී ලංකාව මින් දෙවසරකට පෙර සිව්වැනි පරම්පරාවේ තාක්ෂණය (4ජී) හඳුන්වාදුන්නේය. ලෝක බැංකුව පවසනුයේ ශ්‍රී ලංකාවේ දත්ත හුවමාරුව ලොව මිල අඩුම ක්‍රමවේදයක් බවයි. 

මෙම අත්හදාබැලීම් වසරක් පුරා පැවැත්වීමට නියමිතය.

google_201621846-20 google_201621846-23 google_201621846-24 google_201621846-50 google_2016218460

ඡායාරූප - සුරංග රාජනායක