ගුවනේදී වූ සිද්දියට රමිත් රඹුක්වැල්ල සමාව අයදී


බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිමවා ශී‍්‍ර ලංකාවට පැමිණෙමින් සිටියදී ගුවන් යානයේදී වූ සිදුවීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ රමිත් රඹුක්වැල්ල යානයේ සිටි මගීන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් සමාව අයැද සිටි බවත් ඔවුන්ද විශ්වාසයෙන් යුතුව, ඔහුගේ සමාව අයැදීම බාරගෙන ඇති බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිමවා ශී‍්‍ර ලංකාවට පැමිණෙමින් සිටියදී ගුවන් යානයේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් කණ්ඩායමේ කළමණාකරු ජයන්ත සෙනෙවිරත්න මහතා සිය වාර්තාව අද (2 වැනිදා) සවස්වරුවේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියාට බාරදී තිබේ.

එම වාර්තාව අනුව, ජූනි මස 30 වැනිදා පස්වරු 5.00 ට පමණ, ලන්ඩන් බලා පියාසර කරන, ගුවන් ගමන් අංක ඊ 2158 දරන, ගුවන් යානයට ශී‍්‍ර ලංකා කණඩායම ගොඩවී ඇත්තේ ග්‍රෙනඩාවෙනි.

අදාළ සිදුවීම ඇතිවී ඇත්තේ මධ්‍යම රාති‍්‍රය ආසන්නයේදීය. රමිත් රඹුක්වැල්ල නම් කී‍්‍රඩකයා යානයේ වැසිකිළිය භාවිතා කිරීමට උත්සාහ කර තිබේ. එහෙත් ඒ වන විට යානයේ තිබූ මන්දාලෝකය හේතුවෙන්, වැරදීමකින් යානයේ කුටියේ දොර විවෘත කිරීමට ඔහු උත්සාහ කර ඇත්තේ වැසිකිළියේ දොර යයි සිතමිනි.

මෙම අවස්ථාවේදී යානයේ සිටි මගීන් විසින් එය වැසිකිළියේ දොර නොව, යානයේ කුටියේ දොර බවත් එය වැරදි දොරක් බවත් ඔහුට වටහා දී තිබේ. එම අවස්ථාවේදී ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ නිලධාරීන්ද එතැනට පැමිණ කී‍්‍රඩකයා නිවැරදි දිසාවට යොමුකර තිබේ.

පසුව කී‍්‍රඩකයා තමන්ට සිදුවූ වැරදීම සම්බන්ධයෙන් යානයේ සිටි මගීන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් සමාව අයැද සිටි අතර ඔවුන්ද විශ්වාසයෙන් යුතුව ඔහුගේ සමාව අයැදීම බාරගෙන තිබේ.

කළමණාකරුගේ වාර්තාව අනුව විනය පරීක්‍ෂණයක් පැවැත්වෙන අතර කී‍්‍රඩකයා වරදක් කර ඇතැයි හෙළි වුවහොත් ඔහුට විරුද්ධව පියවර ගැනෙනු ඇත.