ගුවන්තොටුපොළ බස් අවුල දිග් ගැහෙන හැඩයි


කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රය තුළට ගොස් තම බස් රථ වලට මගීන් ගෙන ඒමට  ඉඩ   ලබා නොදෙතියි  කියමින් මාර්ග අංක 187 ගුවන්තොටුපොළ - කොටුව මාර්ගයේ ධාවනය කරන සුඛෝපභෝගී බස් රථහිමියෝ සහ රියදුරෝ ඊයේ15) අළුයම සිට  සිදු කළ වැඩ වර්ජනය  වැඩ බලන ධීවර  අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගේ මැදිහත්වීමෙන් අද  අවසන් විය.

මේ අතර   ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළට පෞද්ගලික බස් රථ පැමිණ මගීන් පැටවීමෙන්  තමන්ට අසාධාරණක් සිදුවන බව ගුවන්තොටුපොළ කුලී රථ සේවා සංගමය  විරෝධය පල කරති.

ගුවන්තොටුපොළ එක්සත් කුලී රථ සංගමයේ සභාපති ගාමිණී කෙවිටියාවල මහතා පැවසුවේ  බොහෝ අකටයුතුකම්  වලට කුලී රථහිමියෝ මුහුණ දී ඇති බැවින් ගුවන්තොටුපොළ පරිශ්‍රය තුලට පුද්ගලික බස් පැමිණ මගීන් ගොඩකරගතහොත්   තමන්ට බලවත් අසාධාරණයක් සිදු වන බවයි.

අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා කියා සිටියේ  සුඛෝපභෝගී බස් රථ හිමියන්ගේ ඉල්ලීම සලකා බලා අදි වේගී මාර්ගයේ දාවනය කරන ඔවුන්ගේ සුඛෝපභෝගී බස් රථවලට  ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළට ගොස්  ලංගම බස් රථ  දෙකක් පිටත්ව ගිය පසු  ඔවුන්ගේ  බස් රථයකට විනාඩි 10 යක් එම ස්ථානයේ නවතා තැබීමටත්  මගීන් ගොඩ කරගැනීමටත් අවස්ථාව සලසා දුන් බවයි.

ඒ අනුව  දෛනික ඒකාබද්ධ  කාලසටහනක්  සකස් කොට එය ගුවන්සේවා අමාත්‍යවරයා වෙතට යවන ලෙස තමන් උපදෙස් දුන් බවත් ඔහු කීවේය.

එමෙන්ම ගුවන්තොටුපොළ පරිශ්‍රය තුලට ගොස් මගීන් පටවා ගැනීම සඳහා ඝෝෂා කරමින් කටයුතු නොකරන ලෙස  තමන් බස් හිමියන්ට උපදෙස් දුන් බවත් එසේ සිදු කිරීමෙන් ගුවන් තොටුපොළ කුලී රථ  සේවාවට මෙන්ම ත්‍රී රෝද රිය  සේවවාට අසාධරණයක් සිදු වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

තමන් මෙම පියවර ගත්තේ   ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසුරිය මහතා ඇතුළු කළමනාකාරිත්වය සමගද ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමානා්‍යාධිකාරී නිමල් ඈස්ලි මහතා සහ අදාල බස් සංගම් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගුවන් මගීන්ගේ පහසුව සඳහා බවත් ඔහු අවධාරණය කළේය.

මෙහිදී 187 ගුවන්තොටුපොළ - කොටුව බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා පැවසුවේ තමන්ට සාදාරණ විසඳුමක් ලබා දුන් බැවින් වර්ජනය අවසන් කළ බවයි. තමන්ට ලබා දුන් විසඳුම අනුව අද සිට දෛනික ඒකාබද්ධ කාලසටහනකට අනුව තම බස් රථ දාවනයේ යොදවන බවද ඔහු කීවේය.

ඒ අනුව දිනකට බස් රථ 40 ක් පමණ දවසේ පැය 24 පුරා දාවනය කිරීමට හැකි වන බැවින් තමන් ඇතුළු තම සංගමයෝ සාමාජිකයෝ අමාත්‍යවරයාට ඇතුලූ ගුවන් තාටුපොළ කලමනාකාරිත්වයටද ලංකා ගමනා ගමන මණ්ඩලයටද ඛෙහෙවින් ස්තුති වන්ත වන බවත් පැවසුවේය.

 කටුනායක-කොළඹ අදිවේගී මාර්ගය විවෘත කිරිමත් සමගම  ගුවන් මගීන්ගේ පහසුව සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත්  බස් රථ දෙකකට  ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළට පැමිණ එහි  නවතා මගීන් ගොඩකර ගැනිමට අවසර ලබා දී තිබුණි. එසේ තිබියදී දේශපාලන සම්බන්ධකම් මත ධනවත් ව්‍යාපාරිකයින් පිරිසකගේ බස් රථද සියයට 15 ක් කොමිස් මුදලක්  ලංකා ගමනා ගමන මන්ඩලයට ගෙවා ලංගම ලාංඡනය යටතේ  එහි ගොස් මගීන් පටවන බවට චෝදනා කරමින් සුඛෝපභෝගී බස් රථ හිමියෝ  ඊයේ  අළුයම  සිට තම බස් රථ දාවනයෙන් ඉවත්කරගනිමින් වර්ජනයක නියැලූනහ.

. 1 2 3 4