තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල සිට යළි ශ්‍රී ලංකාවට පැමිණෙන ලාංකිකයනට ගුවන් මගින් ගෙන ආ හැකි උපරිම බර ප්‍රමාණය කිලෝ 40 සිට 60 දක්වා වැඩි කැර ඇත.
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජය සමඟ කළ සාකච්ඡාවකින් පසුව මෙම අවසරය හිමිව ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය පවසයි.
එම වාර්තා වලට අනූව ද්‍රවිඩ සරණාගතයින්ට යළි මව් රටට යාමේදී ගුවනින් ගෙන යා හැකිව තිබූ කිලෝ 40ක බර ප්‍රමාණයට අමතරව තවත් කිලෝ 20ක් ගෙන යාමට අවස්ථාව සැලසේ.
මීට පෙර සරණාගතයින්ගේ භාණ්ඩ මුහුදු මගින් ප්‍රවාහනය කරනු ලැබුවද එය නතර කිරීමෙන් පසු ඔවුන් සතුව ඇති යතුරු පැදි, ශීතකරණ ඇතුළු බරින් වැඩි ද්‍රව්‍ය ගෙනයාමට නොහැකි විය.
වත්මන් වාතාවරණය යටතේ ගුවනින් ගෙන යාමට හැකි බර ප්‍රමාණය තවත් කිලෝ 20කින් වැඩි කිරීම ගැන සරණාගතයින් ප්‍රසාදය පළ කර ඇත.
යුද සමයේ ඉන්දියාවට පළා ගිය අය අතරින් ලක්ෂයකට අධික සරණාගතයෝ තමිල්නාඩුවේ කඳවුරු වල ජිවත් වෙති.

