ගුරු සංගම් ලේකම්ගෙන් අනතුරු ඇඟවීමක්


 

(විනීතා එම් ගමගේ) 

ස්ථාන මාරු ලබා පැමිණි ගුරුවරයෙකුට බැන තර්ජනය කර සේවයෙන් නිදහස් කිරීමේ ලිපිය විසිකර දැමූ විශාඛා විදුහල්පතිනියගේ අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව අධ්‍යාපන බලධාරින් නිසි පියවර නොගතහොත් සියලු ගුරු වෘත්තිය සමිති එක්ව වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද (08) පැවසීය.                                      
ස්ථාන මාරුවක් ලබා කොළඹ ශාන්ත පාවුළු බාලිකාවේ සිට විශාඛා විදුහලට ඉකුත් හතරවැනිදා පැමිණි ගුරුවරයෙකුට ශාන්ත පාවුළු බාලිකාවේ විදුහල්පතිනියගේ නම සඳහන් කරමින් ඇයගේ ගෝලයන්ට වැඩ භාර නොදෙන බව පවසා ලිපිය විසිකර ඇති බවත් ආරක්ෂක නිලධාරින් ගෙන්වා එම ගුරුවරයා එළියට දමා ඇති බවත් පවසන ජෝෂප් මහතා එය ගුරුවරයෙකුගේ ආත්ම ගෞරවයට හානි කළ අපහාසාත්මක සිද්ධියක් බවත් පෙන්වා දෙයි.                                                               

විශාඛා විදුහල්පතිනිය අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු අධ්‍යක්ෂවරියට ද බැනවැදී ඇති බවත් සිද්ධියට බඳුන් වූ ගුරුවරයා මේ සම්බන්ධව බම්බලපිටිය පොලිසියේ පැමිණිල්ලක් ද සටහන් කර ඇති බවත් ගුරු සංගම් ලේකම්වරයා පෙන්වා දෙයි.

මේ වනවිටත් චෝදනා 15 කට ලක්ව සිටින මෙම විදුහල්පතිවරිය අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් ලෙස පත්කිරීමට රජයේ බලධාරින් කටයුතු කිරීම පිළිබඳව ද ඔහු චෝදනා කරයි.

එකී ගුරුවරයාට එල්ල කරන ලද අපහාස පිළිබඳව විනය ක්‍රියාමාර්ග නොගතහොත් ගුරු වෘත්තිය සමිති හා සාකච්ඡා කොට වෘත්තිය ක්‍රියාමාර්ගයකට අනිවාර්යයෙන්ම යන බව ද ස්ටාලින් මහතා කියා සිටියේය.