ගීතාගේ මන්ත්‍රීධූරය අහෝසි කරනවාද නැද්ද තීන්දුව මැයි 3 දා


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
ස්විට්සර්ලන්ත ‐ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි නිසා ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ එම මන්ත‍්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම  සම්බන්ධයෙන් වන තීන්දුව ලබන මැයි 03 වැනිදා ප‍්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද  (14) තීන්දු කළේය.

එසේම පෙත්සම සම්බන්ධයෙන් වන ලිඛිත දේශන ලබන මස 05 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසද අභියාචනාධිකරණය දෙපාර්ශවයටම දැනුම් දුන්නේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ  සහ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් හමුවේ කැඳවිණි. 

වගඋත්තරකාර ගීතා කුමාරසිංහ මහත්මිය ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවන අවස්ථාව වන විට ස්විට්සර්ලන්ත පුරවැසිභාවය ලබා සිටි බවත් එසේ තිබියදී මන්ත‍්‍රීවරියක ලෙස පත්වීම හෝ එම තනතුරේ කටයුතු කිරීම සුදුසු නොවන බවත් එම පෙත්සමේ සඳහන් වෙයි.