වසර තුනකට පසු ගායන ශිල්පිනී සුරනි ද මෙල්ගෙන් අලුතෙන් ගීතයක්
වේග රිද්ම ගායන ශිල්පිනියක ලෙසින් නමක් දිනා සිටින සුරනි ද මෙල් වසර තුනකට පසු "යන්තමට මගේ දිහා" නමින් මියුසික් වීඩියෝවක් එළිදක්වා තිබේ. අද කතාබහ එම නිර්මාණය හා බැඳුණු නිර්මාණ පසුබිමයි.
මියුසික් වීඩියෝවෙන්ම කතාබහ ආරම්භ කරමු
"යන්තමට මගේ දිහා" ගීතය තමයි මගේ නවතම ගීතය. මම අවුරුදු තුනකට පස්සෙ තමයි අලුත් මියුසික් වීඩියෝවක් කළේ. මීට පෙර එළිදැක්වූ වීඩියෝවටත් ගොඩාක් හොඳ ප්‍රතිචාර තිබුණා. වේදිකාවෙදී මගෙන් රසිකයන් බලාපොරොත්තු වෙන්නෙ වේග රිද්ම ගීත. එම ගීතයෙන් පස්සේ අවුරුදු තුනකට පසුව තමයි මේ ගීතය නිර්මාණය කළේ. දෙමළ ගීතයක cover song එකක් ලෙසයි මේ ගීතය නිර්මාණය වෙන්නෙ. ගීත කලාවට වෙනසක් එක්කරමින් ඉන්දියානු ආකෘතියකටයි මෙම නිර්මාණය සිදුකළේ.
මෙහි සංගීතය මාධව හේවාවසම්ගේ. පද රචනය චතුක මධුරංග. මෙය ආදර ගීයක්. අද කාලේ බොහොමයක් කතන්දරත් එක්ක තමයි මියුසික් වීඩියෝ හැදෙන්නෙ. නමුත් මට උවමනා කළා මෙය දෙමළ ආකෘතියකට යන වේග රිද්ම ගීතයක් නිසා නර්තනය විතරක් වීඩියෝවක් ලෙසින් වීඩියෝව එළිදක්වන්න. එනිසාම මෙම නිර්මාණයට නලින් ගුණරත්නට ආරාධනා කළා. ඔහු තමයි මෙහි නර්තන කටයුතු නිර්මාණය කළේ. ප්‍රසාද් අබේසේකරගේ Dream Effect ආයතනයේ අයේෂ් අබේසේකරයි මෙහි අධ්‍යක්ෂණ කටයුතු කළේ. මෙය ලංකාවේ තිබෙන සෑම නාළිකාවකම ප්‍රචාරය වෙනවා. මෙහි විශාල ප්‍රතිචාර දක්නට ලැබෙනවා. නර්තනය වගේම ගීතයත් ලස්සනයිලු. මේ ගීතයත් එක්ක ලැබෙන ප්‍රසංග ප්‍රමාණයත් වැඩිවෙලා තිබෙනවා මේ කෙටි කාලය තුළ. තවම ගීතය එළිදක්වලා සති දෙකක් වුණෙත් නෑ.
ඕඩියෝ ගීතයක් කළා "මා සොයා" නමින්. ප්‍රසංගයකට ගියත් මගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඩාන්ස් කරන්න පුළුවන් ගීත. මමත් කැමතියි ඒ වගේ ගීත ගායනා කරන්න. නර්තනයත් ගායනයත් එක්ක වීඩියෝවක් නිර්මාණය කරන්න ආසයි. මගේ fan page එකේ තුන් ලක්ෂ අනූදහසකට අධික රසික පිරිසක් සිටිනවා. ඔවුන්ගෙන් ඉල්ලීමක් තිබුණා වීඩියෝවක් කරන්නැද්ද කියා. එලෙස අහන රසිකයන්ගේ ඉල්ලීමත් එක්ක තමයි වීඩියෝවක් නිර්මාණය කළේ. එයට ගැළපෙන සින්දුවකුත් ලැබුණා. එනිසා තමයි මේ වීඩියෝව නිර්මාණ කළේ.
අද කතාබහක් තිබෙනවා මෑතක බිහිවෙන ඒකාකාරී ගීත නිර්මාණ රටාවක් තිබෙනවාය කියා?
හැමෝම සින්දු කරන්න පටන්ගෙන තිබෙනවා, රිගින් ටෝන්වලට. හරිම ස්ලෝ සින්දු කරගෙන යනවා. මම කිසිම වැරැද්දක් කියන්නෙ නෑ. ඒ සින්දු අතර ලස්සන සින්දුත් තියෙනවා. හැබැයි සමහර සින්දු අපිට දැනෙන්නෙ එකම තාලෙකට යනව වගේ. ඇයිද දන්නෙ නෑ ඒ ශෛලියෙන් මිදිලා වෙනත් ශෛලියකට යන්නෙ නැත්තෙ කියා. අපිට බොහෝ වෙලාවට අහන්න ලැබෙන්නෙ එකම ශෛලියේ ගීත තමයි. ගායකයෙකුට හෝ ගායිකාවකට සල්ලි හොයන්න ක්‍රම තියෙනවනෙ. රිගින් ටෝන් සහ ප්‍රසංග තමයි ඒවා. ඒගොල්ලන් ඒ දේවල් හරහා මුදල් හොයන්න ඕනනෙ.
ඒකට කිසිම දෙයක් කියන්න බෑ. ඒක තමයි යන්න ඕන ක්‍රමය. මම එතනට යන්න කැමති නෑ. මට ඒ ස්ටයිල් එකේ සින්දු කරන්න එතරම් කැමැත්තක් උනන්දුවක් තිබුණෙ නෑ. එනිසා ඉස්සරහට මගේ කටහඬට ගැළපෙන හොඳ ස්ලෝ ට්‍රැක් එකක් ලැබුණොත් මමත් කරයි. හැබැයි මට ගැළපෙන ගීතයක් ලැබුණෙ නෑ. මගේ කැමැත්ත තියෙන්නෙත් වේගරිද්ම ගීතවලට. හැමෝම එකම ස්ටයිල් එකට යන්නෙ නැතුව වෙනස් ආකෘතිවලට යනවනම් හොඳයි. ඒකට හේතුව තමයි රිගින් ටෝන්වලට හරියන ගීත නිර්මාණ කරන්න යාමයි.
ස්ලෝ ලව් සෝන්ග්ස් තමයි රිගින් ටෝන්වලට යන්නෙ. ඒ නිසා තමයි දිගින් දිගට මේ වගේ නිර්මාණ බිහිවෙන්නෙ. ඒකෙ කිසි වැරැද්දක් මං කියන්නෙ නෑ. ඒ ස්ටයිල් එකට මට ගැළපෙන නිර්මාණයක් ලැබුණෙ නෑ. ඒ නිසා මං මේ ගීතය නිර්මාණය කළා.
මෑත කාලීන ගීතවල "රත්තරනේ", "පණ" වගේ කියන වචන බහුලව දකින්න ලැබෙනවා. මෙවැනි වචන සාහිත්‍ය නිර්මාණයකදී යොදාගැනීම ගැන ඔබේ අදහස?
ඒ ශෛලියත් එක්ක ඒ වචන භාවිත කරන්නෙ ඒකෙ තියෙන ආදරණීයභාවය වැඩි කරන්න. මම හිතනවා ඒක පද රචනා කරන අයගේ වැඩක්. එවැනි වචන තනුවට හරියන වචන තමයි ඔවුන් භාවිත කරන්නෙ. සාමාන්‍ය‘යෙන් ආදරය කරන හැම කෙනෙක්ම ඔය වචන පාවිච්චි කරනවනෙ. ගීතවලදී අසභ්‍ය වචන නැතුව ආදරණීය වචන භාවිත කළාට නම් කිසිම ගැටලුවක් නෑ. රත්තරනේ, පණවගේ කියන වචන ආදරය කරන අය පාවිච්චි කරන සාමාන්‍ය වචන. ඒක නං මං කිසි වැරැද්දක් දකින්නෙ නෑ. ගැළපෙන්නෙ නැති වචන නැතුව තනුවට ගැළපෙන කතාවට ගැළපෙන වචන භාවිත කළාට මං නං කිසි වැරැද්දක් දකින්නෙ නෑ.
සටහන - ඉඳුනිල් සින්දු