ගීත කලා ලොවේ නවකයෙකු වන රෝහණ වික්‍රමසිංහගේ පළමු ගීතය වන "අද හෙට නුඹ මා" ගීතය පසුගියදා එළිදක්වනු ලැබීය. මේ වනවිට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතින එම ගීතය පිළිබඳව අපත් සමග කතා බහට කිරීමට රෝහණ "සාරවිට" සමග එක්වූ මොහොතකි මේ.
ඔබේ නම කිව්වොත්?
කලාවට එකතු වෙන්නේ කොයි කාලෙද?
මගේ පුංචිම කාලෙ ඉඳලා. ඒ කියන්නේ ....ගායනා කරන්න පුළුවන් කියලා දැනගත්ත දවස් වල ඉදලා.
කරපු පළමුවැනි නිර්මාණය ගැන කිවුවොත්?
ඒක මගේ ජීවිතයේ ලොකුම හීනයක්. ගොඩාක් කල් ඉඳලා නිර්මාණය කරන්න හිතුවට අපහසු වුණා. මගේ මුල්ම ගීතය සංගීතවත් කළේ නව පරපුරේ දක්ෂම තනු නිර්මාණය ශිල්පියකු වන සඳරුවන් ජයසිංහ. ඒ වගේම පද රචනා කළේ සුලෝචන රාජපක්ෂ මල්ලි. එයත් නව පරපුරේ ඉතා දක්ෂ කලාකරුවෙක්. ඒ වගේම මෙහි රූප රචනා කළේ ලීන් මුතුකුඩ. ඊට අමතරව ගොඩාක් අය ඉන්නවා මෙම නිර්සාණය සඳහා උදවු කළ අය.
ඇයි පළමු නිර්මාණයට මේ තරම් කාලයක් ගියේ?
ඒක මෙහෙමයි සිද්ධ වෙන්නෙ. මම උසස් පෙළින් පසුව ලංකාවේ සංගීත කටයුතු කරන අතර මට සිද්ධ වෙනව 2005 වසරේ ලංකාව හැර පිට රට රැකියාවකට යන්න. ඊට පසුව 2008 වසරේ ආපසු ආවත් නැවතත් 2009 විදෙස් ගතවෙන්න වෙනවා. ආයෙම වසර ගණනාවකට පසුවයි මම ලංකාව එන්නේ. ඒ කියන්නේ 2015 දී. ඊට පසුවයි මම මගේ මුල්ම නිර්මාණය කරන්න පටන් ගන්නේ.
කොහොමද ගීතයට ලැබෙන ප්‍රතිචාර?
මේ ගීතය එළියට ඇවිල්ල තවම ඉතා ටික දවසයි. ඒ ටික දිනට මම හිතුවට වඩා අය මට කතා කරල සුබ පතනව තවමත්. ගීතය නරඹා ඇති අය ඉතා විශාල ප්‍රමාණයක්. ගොඩාක් අය මගේ ගීතය රස විඳල තියෙනවා කියල මට දැනෙනවා. එහි ඝෝෂාකාරී බව ඉතා අඩුයි. කෙනෙකුට හොඳ රසයක් විඳින්න පුළුවන් විදිහේ ගීතයක් කියලා කියන්න පුළුවන්.
ඉදිරි කටයුතු ගැන කිවුවොත්?
මේ ගීතය සමග මම ආරම්භ කළ මගේ නිර්මාණය කටයුතු මම ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. තව ටික කලකින් නැවතත් ඉතා ලස්සන ගී නිර්මාණ වලින් මම මගේ රසිකයෝ ගාවට එනවා. අද ලංකාවේ හතු පිපෙන්නාක් මෙන් ගායකයෝ බිහිවන යුගයක්. නමුත් මට ඊට වඩා ලොකු අරමුණක් තියෙනවා. ඉතා හොඳ නිර්මාණ වලින් පමණක් මම ඉදිරියට එන්නයි මගේ බලාපොරොත්තුව. ඩිජිටල්කරණයෙන් විතරක් ගායනා නොකර නියම classical ගීත වලිනුත් මම ඉදිරියට මගේ නිර්මාණය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?
අනිවාර්යයෙන්. මුලින්ම මගේ මේ ගමනට ඉතා ලොකු දිරිගැන්වීම කළේ මගේ ආදරණීය බිරිඳ, එයාව මතක් කරනවා. ඒ වගේම. මගේ family එකේ අය ගොඩාක් මට උපකාර කළා. මේ රූප රචනාව තුළ සිටින සියලුම දෙනාම ඉතා ආදරයෙන් මතක් කරනවා. ඒ වෙනුවෙන් මහන්සියෙන් වැඩ කරපු සියලු දෙනා මතක් කරන්න ඕනෙ. නම් නොකීවට ගොඩාක් අය යම් නිර්මාණක් පිටුපස සිටිනවා. ඒ සියලුදෙනා ආදරයෙන් මතක් කරන්න ඕනෙ.