ගිය රජයේ කාගෙදෝ සාක්කුවට කෝටි 100ක් ගියා


ජාතික ඖෂධ අධිකාරියේ නියාමන පනත බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මෛත්‍රිපාල සිරිසේන ජනපති වාර්තා දෙකක් පිහිටවීය.

ශ්‍රී ලංකාවේ ජනපතිවරයකු මුල්වරට විවාදයකට මුල පිරීම එක් වාර්තාවකි. ජනපති ලෙස සිරිසේන මහතා පාර්ලිමේන්තුව ඇමතීම අනෙක් වාර්තාවයි. ගිය රජය කාලයේ අස්ථානගත වීම නිසා මේ පනත සම්මත කරගැනීමට නොහැකිවිය.

ඖෂධ සමාගම් 400 කින් පමණ රුපියල් ලක්ෂ 100 ක් බැගින් රුපියල් කෝටි 100 ක් අල්ලස් ගෙන පනත අතුරුදන් කළැයි ජනපති බරපතල චෝදනාවක් කළේය. 2011 දී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර නීතිපති නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යැවූ පසු පනත අතුරුදන්වූ බවත් බෙහෙත් සමාගම් වලින් එකතු කළ රුපියල් සිය කෝටිය ගිය තැන නොදන්නා බවත් ජනපති කීවේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එම පනන ගැන උනන්දුවක් නොදැක්වූ බවත් හිටපු ජනපතිගේ වෛද්‍යවරයා ඖෂධ සංස්ථාවට පත්කර සිටි බවත් පැවසීය.

මෙම පනත සම්මත වීමෙන් පසුව පිහිටුවන නියාමන අධිකාරිය බටහිර ඖෂධ නියම කරනු ඇති බවත් ඖෂධ සමාගම් මාෆියාවට හිතුමතේ බෙහෙත් මිල වැඩිකළ නොහැකි බවත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න කීවේය.