ගිනිගත් නැවත තවත් නඩුවක්


( මනෝප්‍රිය ගුණසේකර)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා වෙරළේ ගිනි ගැනීමෙන් ඇතිවූ පාරිසරික හා විවිධ ක්ෂේත්‍රයන් සිදු වූ හානිය වෙනුවෙන් ඇමරිකාන් ඩොලර් බිලියන 6.4ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා පරිසර සංවිධානයක් කොළඹ වාණිජ මහාධිකරණයේ අද (19) නඩුවක් ගොනු කළේය.

‘වන අරණ’ පදනම ඇතුළු පාර්ශවකරුවන් හතරක් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරු, එම නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම” එම නෞකාවේ රක්ෂණකරු, ක්‍රියාකරු වශයෙන් කටයුතු කරන සමාගම් 08 ක් නම් කර ඇත.

‘එක්ස්ප්‍රස් පර්ල්’් නෞකාව ශ්‍රී ලංකා වෙරළේ ගිනි ගැනීමෙන් නෞකාවේ තිබූ ඉන්ධන සහ නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දු වීමෙන් විශාල සාගර දූෂණයක් සහ රසායනික ද්‍රව්‍ය වාතයට මුසු වීමෙන් වායු දූෂණයක්ද සිදු වී ඇතැයි පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

විෂ රසායනික ද්‍රව්‍ය ජලයට මුසු වීමෙන් දැඩි පාරිසරික මෙන්ම ආර්ථික හානියක් ද මෙරටට වි ඇතැයිද මෙහි ප්‍රතිඵලයක් ලෙස ජලයේ ජීවත්වන කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් මරණයට පත් වී ධීවරයින් විශාල පිරිසකට සිය ජීවනෝපාය අහිමි වී ගිය බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ මෙම අනතුරින් අගතියට පත් පාර්ශවයන්ට වන්දි ගෙවීමට වගඋත්තරකරුවන් බැඳී සිටින බවත් සඳහන් කරති.

නෞකා අතුරෙන් ශ්‍රී ලංකාව ඇතු`ථ තමන්ට සිදු වූ හානිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 6.4 කට අධික වන්දියක් වගඋත්තරකරුවන්ගෙන් අය කර දෙන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.