ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වෙන අතරතුර දී එහි මුලසුන දැරූ සම සභාපති සුළු අපනයන භෝග පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා නැගිට යාමෙන් සංවර්ධන කමිටු රැස්වීම අතරමග නවතා දැමීමට සිදුවිය. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී අද පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම ආරම්භයේ දී ම නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරණය හේතුවෙන් තමන්ට හා නිලධාරීන්ට රාජකාරී බහුල බැවින් රැස්වීමේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කළ නොහැකි බවයි.
ඒ අවස්ථාවේ දී ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා හා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී අජිත් කුමාර මහතා එයට විරෝධය දක්වමින් කියා සිටියේ මාස කිහිපයකට වතාවක් ජනතා ගැටළු සාකච්ඡා කිරීමට ඇති අවස්ථාව අහිමිකිරීම බලවත් අසාධාරණයක් බවයි. විපක්ෂ මන්ත්‍රීවරුන් සමග වාදයක පැටළුණු මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා රැස්වීමේ සංවර්ධන යෝජනාක්‍රම පිළිබඳ ප්‍රගතිය සාකච්ඡාවට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදුන්නේය.
එය අවසන් වීමත් සමග රැස්වීම හැකි අයුරකින් පවත්වාගෙන යන ලෙස පවසමින් විපක්ෂ මන්ත්‍රීවරැන්ගේ දැඩි විරෝධතාව මධ්‍යයේ නැගිට ගියේය. මහජන නියෝජිතයන් කෑ කෝ ගසද්දී ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා ට මුලසුන දරණ ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුව ද ඒ මහතා එය ප්‍රතික්ෂේප කළේය. සම සභාපති ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ද රැස්වීමට පැමිණ සිටියේ නැත.
2014 දෙසැම්බර් මස 03 දිනැති ලිපියකින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා විසින් මෙම රැස්වීම කැඳවා තිබිණි. රැස්වීම අවසානයේ සියළුම මහජන නියෝජිතයන්ට සියලුම දෙපාර්තමේන්තු, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, පළාත් සභා ප්‍රධානීන් හා සියළුම ප්‍රාද්ශීය ලේකම් වරු මෙම රැස්වීමට කැඳවා තිබිණි. මේ සියළු දෙනා වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වෙන බව එම ලිපියෙන් දැනුම් දී තිබිණි.
ගාල්ල දිසාපති රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පවසන්නේ මැතිවරණ කාලයේ නිලධාරීන්ට රාජකාරී බහුල බැවින් රැස්වීම කල්වේලා ඇතිව අවසන් කිරීමටත් දිවා භෝජන සංග්‍රහය මෙවර රැස්වීම් වාරයේ නොපවත්වා ජනවාරි මාසයේ පැවැත්වීමටත් කලින් තීරණය ගෙන තිබූ බවයි.

