ගාලු මුවදොර විරෝධතාවයට උසාවියෙන් හයිඩ් පිටිය දෙයි


ආගමික සංහිඳියාව ඇති කිරීම සඳහා රජයට බල කිරීමට අද ගාලු මුවදොර පිටියේ සංවිධානය කර තිබූ විරෝධතාවය මහජන පීඩාවක් ඇති වන අයුරින් සහ අධි ආරක්ෂිත කලාපයේ නොපවත්වන්නැයි නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අවශ්‍ය නම් එය ඉබ්බන්වල හංදියේ හයිඩ් පිටියේ සාමකාමීව පවත්වන්නැයි උපදෙස් දුන්නේය.

ඉස්ලාම් ආගම අදහන ජනයාට අන්තවාදී සංවිධාන මගින් දිගින් දිගටම එල්ලවන   බව කියන නීත්‍යනුකූල නොවන බලපෑම් නවත්වන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පැවැත්වීමට සූදානම් වන බවත්, ඒ මගින් මාර්ග අවහිර වී ජනතාවට පීඩාවක් ඇති විය හැකි බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

උසාවි  නියෝගයේ පිටපත් විරෝධතාව සංවිධානය කළ බව කියන මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියනට හා පූජක වරයකුට බාර දෙන්නැයි ද මහේස්ත්‍රාත් නියෝග කළේය.