ගාලු කොටුවේ තැපැල් කාර්යාලයේ කොටසක් කඩා වැටෙයි


(ඩී.ජි සුගතපාල)

ගාල්ල කොටුවේ පිහිටි පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ කොටසක් අද (11) කඩා වැටී ඇත.ඒ අසල නවතා තිබූ ත්‍රී රෝද රථයකට හානි සිදුවී ඇති නමුත් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.

මෙම තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ලන්දේසි පාලන සමයේ ඉදි කරන ලද ගොඩනැගිල්ලක් වන අතර ලංකාවේ ආරම්භ කරන ලද  ප්‍රධාන තැපැල් කාර්යාලවලින් එකකි.

1977 වනතුරුම ගාල්ලේ ප්‍රධාන තැපැල් කාර්යාලය පවත්වාගෙන ගොස් ඇත්තේ මෙම ගොඩනැල්ලේ වන අතර පසුව ගාල්ල නගරයේ ඉදි කරන ලද නව ගොඩනැගිල්ලකට ප්‍රධාන තැපැල් කාර්යාලය ගෙන ගොස් තිබේ. මෙම ගොඩනැගිල්ලේ සාමාන්‍ය තැපැල් කාර්යාලයක් පවත්වාගෙන ගොස් ඇත.

මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කොට කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත යවා තිබෙන බවත් ප්‍රතිපාදන ලැබුණ පසු එහි අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට සුදානම් කර තිබූ බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සහකාර කොමසාරිස් වසන්තා අලහකෝන් මහත්මිය පැවසුවාය.