ගාල්ලේ සුනාමි රෝහල හමස් මල්ලේ


පසුගිය රජය පැවති 2005 වර්ෂයේ දී කරාපිටියේ ඉදිකිරීමට ගිය මාතෘ හා ළමා රෝහල වෙනුවෙන් ලැබුණු මුදල් ගැන සොයා වංචා කරුවන්ට දඬුවම් දෙන ලෙසත් රෝහල කඩිනමින් ඉදිකර දෙන ලෙසත් ඉල්ලා අද සවස කරාපිටියේ දී පිරිසක් උද්ඝෝෂණයක නිරතවූහ. මේ රෝහල සෑදීමට ජර්මන් හෙල්මුත් කෝල් පදනමෙන් සුනාමි පරිත්‍යාගයක් ලෙස රුපියල් කෝටි 3640 ක් ලැබිණි. රෝහලට අඩිතාලම් දැම්ම ද ඉදිකිරීම් සිදුවූයේ නැත. ඉන්පසු 2012 දී ජර්මන් පුනර්නිර්මාණී බැංකුවෙන් රුපියල් කෝටි 330ක ණය මුදලක් ද මේ රෝහල වෙනුවෙන් රජය විසින් ගෙන ඇතැයි උද්ඝෝෂකයෝ කියති. එසේ වුවද තවමත් 2005 දී දැමූ අඩිතාලමත් දිරායන යකඩ ගොඩක් හා යන්ත්‍රෝපකරණ කිහිපයක් පමණක් මෙහි දක්නට ලැබෙයි. උද්ඝෝෂකයන් පවසන්නේ එකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි වත්මන් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මේ මුදලට වගකිවයුතු බවයි.

මුදල්වලට සිදුවූ දේ සොයා හොරුන්ට නිසි දඬුවම් දෙන ලෙසත් රෝහල කඩිනමින් සාදා දෙන ලෙසත් උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ. විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා ලෙස සැකසූ පඹයකුට ද ගිනි තැබිණි. කරාපිටියේ පරිසර හා ප්‍රජා සංවර්ධන සමිතියේ මූළිකත්වයෙන් මේ උද්ඝෝෂණය සංවිධානය කැර තිබිණි.

P1090526 P1090528 P1090531 P1090543 - Copy P1090549