ගාල්ලේ මහින්දයෙන් අමුතු වැඩක්


ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකුට අද තම පාසලේ ම පැවති උත්සවයක ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා වීමේ විරළ අවස්ථාවක උදාවිය. එම අවස්ථාව හිමිකර ගත්තේ මහින්ද විද්‍යාලයේ හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සඳරු තත්සර බාලහේවා සිසුවා විසිනි. ඒ අද සවස 3.30ට ආරම්භ වූ පාසල් සිසුන්ගේ අවසන් වාර විභාගයේ ප්‍ර‍ගති වාර්තා පොත් පිරිනැමීමේ උත්සවයේ ප්‍ර‍ධාන ආරාධිතයා වීමෙනි.

සඳරු පාසලට මහත් කීර්තියක් අත්කර දුන් සිසුවෙකි. 2013 වර්ෂයේ දී පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ථ ශ්‍රී ලංකාවෙන් ම පළමුවැනියා වූ සඳරු 2015 ලෝක විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ දී ලෝකයේ තුන්වැනියා බවට පත්වූයේය.

සිය මව් පියන් සමග පාසල් නිල ඇඳුමින් සැරසී ප්‍ර‍ධාන ආරාධිතයා ලෙස පාසල වෙත පැමිණි සඳරු පිළිගත්තේ විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා විසිනි. පාසලේ සහෝදර සිසුන්ගේ ආචාරය මැද ඕල්කොට් ශාලාවට පිවිසි සඳරු සහෝදර සිසුන්ට ප්‍ර‍ගති වාර්තා පොත් පිරිනැමුවේය.

සඳරු පාසල් සිසුවකු ලෙස ඉගෙනුමටත් බාහිර ක්‍රියාකාරකම්වලටත් එකසේ දස්කම් දක්වන බවත් විදුහලට මහත් කීර්තියක් අත්කර දෙන සඳරු ආදර්ශයට ගත යුතු බවත් පැමිණ සිටි සිසුන්ටත් ඔවුන්ගේ දෙමාපියන්ටත් විදුහල්පති කීවේය.  

IMG_1147 - Copy   IMG_1174 - Copy

IMG_1229

IMG_1414

IMG_1491