ගාල්ලේ ක්‍රිකට් තරගය අතරතුර විරෝධතා පුවරු ප්‍රදර්ශනයට වාරණයක්



(ඩී.ජී.සුගතපාල) 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ‍ ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන  අද(6)  සිට 10 වැනි  දින දක්වා කාලය ඇතුළත විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින් විරෝධතා සිදු කිරිම වළක්වාලමින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද  (06) වාරණ  නියෝගයක් නිකුත් කළේය.

ගාල්ල පොලිසිය මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කරමින් කියා සිටියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ පැවැත්වීමට නියමිත ශ්‍රි ලංකා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගයේ සංවිධාන කටයුතු ලබා නොදීමට විරෝධය දක්වා පිරිසක් ක්‍රීඩාංගණය තුළ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක් පැවැත්වීමට කටයුතු කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.


ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සේවය කොට දූෂණ අක්‍රමිකතා හේතුවෙන් මාතර කොට්ඨාසයට මාරු කරන දෙදෙනකු මෙම කටයුතු සංවිධානය කරන බවට තොරුතුරු ලැබි ඇති බවත් කියා සිටි පොලිසිය එම නිසා එය වැළැක්විමට වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.


ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙසේ වාරණ නියෝගය නිකුත් කළේය.


ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක අජිත් කුමාර මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ සැරයන් රංජිත් සිල්වා (7718) මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.