ගාල්ල දිස්ත්‍රික්කයේ තොරතුරු නැතිව ව්‍යාපෘතිය පමාවෙයි


(සිරංගිකා ලොකුකරවිට)

පෝෂණය සඳහා වන බහුවාර්ෂික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට යෝජිත සමීක්ෂණයේ සෞඛ්‍ය අංශ මගින් සම්පූර්ණ කළ යුතු කොටසට අදාළ තොරතුරු ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් සපයා නොතිබීම නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පමා වී ඇතැයි පසුගියදා පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය විය.

අනික් සියලුම දිස්ත්‍රික්ක වලින් මෙම තොරතුරු ලබා දී ඇතත් ගාල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් තොරතුරු නොදීම සම්බන්ධව ඔවුන්ට බරපතල ගැටලුවක් බව එහිදි කියැවිණි. 

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ගාල්ල ශාඛාව විසින් මෙම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවත් මෙම ගැටලුව වෛද්‍ය නිලධාරී සංගමයේ මව් ශාඛාව වෙත යොමු කර ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක චන්දිම සිරිතුංග මහතා පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්ක මට්ටමින් ගැටලුව විසඳා ගැනීමට දැඩි උත්සාහයක් ගත්තත් එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බවත් ඒ මහතා කීවේය. 

වෛද්‍යවරුන්ගේ තීරණය මත මෙම දත්ත ලබා නොදීම නිසා වැඩසටහන ඉදිරියට කරගෙන යෑම අඩාල වී ඇති බවත් ඉන් අඩු පෝෂණ තත්වයක් පවතින අයට අසාධාරණයක් සිදුවන බවත්  එහිදි කියැවිණි.