අද පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය මැද පාර්ලිමේන්තුව දෙවරක් කල් තැබීමට සිදු විය.
විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධිත පනත් කෙටුම්පත ඇතුළු පනත් දහයක් අද විවාදයට ගැනීමට නියමිතව තිබිණි.
පාර්ලිමේන්තු විවාදය යන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පැවසුවේ විදුලිබිල වැඩි කිරීම ගැන ලබන මැයි නව වැනිදා විවාදයක් ලබා දීම ගැන ස්තුතිවන්ත වන බවයි. මැයි නව වැනිදා එම විවාදය ආරම්භ කරන තුරු විදුලි බිල වැඩි නොකර ලෙසත්, ඉන් පසුව ඒ ගැන ක්‍රියා කරන ලෙසත් ඉල්ලා සිටි නමුත් ඊඨ සුබවාදී ප්‍රතිචාරයක් නොලැබීම ගැන විරෝධය පළ කරන බව හෙතෙම කීය.
එම ප්‍රකාශයත් සමග එක්සත් ජාතික පක්ෂයේ සහ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු දැල්වූ ඉටිපන්දම් අතැතිව සභා ගැබට පැමිණ විරෝධය පළ කරන්නට වූහ.
සභාවේ ඇතිවූ උණුසුම් එම තත්ත්වය මත මුලසුනේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා මිනිත්තු පහකට සභාව කල් තබා නැගිට ගියේය.
මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ රන්ජන් රාමනායක සහ සංධානයේ යොහාන් රත්වත්තේ මන්ත්‍රීවරුන් අතර දැඩි වාග් ප්‍රහාරයක් සහ ගුටි කෙළියක් ද සිදුවන්නට ගිය අතර වාසුදේව නානායක්කාර ඇතුළු අමැතිවරු ද, දයාසිරි ජයසේකර සහ අජිත් පෙරේරා මන්ත්‍රීවරු ද පිරිස් සභා මැදට පැණ දෙදෙනා දෙපසට කළහ.
සරත් කුමාර ගුණරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ අසුන් පෙලේ සිට ප්ලාස්ටික් වතුර බෝතලයකින් වතුර විසි කරමින් ඉදිරියට පැමිණි අතර ඒ මගින් විපක්ෂ මන්ත්‍රීවරු අත තිබූ ඉටිපන්දම් නිවීමට උත්සාහ ගත්තේය.
නැවත පස්වරු පහට පමණ නියෝජ්‍ය කතානායක චන්දිම විරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව ඇරැඹි අතර විරෝධයපාන විපක්ෂ මන්ත්‍රීන්ට සභාවෙන් ඉවත් වන ලෙස නියෝජ්‍ය කතානායකවරයා දැන්වීය. ඔවුන් සභාවෙන් ඉවත් නොවූ තැන විරෝධතා මැද පනත් දහයක් සම්මත කර ගැනිණි.
ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති සහ විජිත හේරත් මහත්වරු විවාදයට තමනට අවස්ථාව නොලැබීම ගැන විරෝධය පෑහ.
සභාවේ දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇතිවූ හෙයින් පස්වරු හතට අවසන් කිරීමට තිබූ සභා වාරය පස්වරු 5.10ට පමණ අවසන් කළ නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා මැයි මස නව වැනිදා පස්වරු 1 දක්වා සභාව කල් තැබීය.