ගාමිණී හෙට්ටිආරච්චි වේදිකාවේ රජ වෙයි


2017-01-27-ent-18

ඔහු ගාමිණී හෙට්ටිආරච්චිය. වේදිකාව, සිනමාව, පුංචි තිරය තුළ ප‍්‍රතිභාපූර්ණ චරිතාංග රංගවේදියකු ලෙස පේ‍්‍රක්ෂක සිත්සතන්වලට සමීප වූ ආදරණීය චරිතයකි.

බොහෝවිට ටෙලි තිරයෙන් මුණගැහෙන ඔහු ‘‘සිඳු’’ ටෙලි නාට්‍ය හරහාද මේ දිනවල දැකගත හැකිය. ටෙලි තිරයෙන් පමණක් නොව වේදිකාවේද විවිධ වූ චරිත අතර සැරිසරන ඔහු ඔටුනු පළඳින්නට වේදිකාවට ගොඩවිය.

විවිධ චරිතවලට ඇඳපු ඔබ මේ දවස්වල රජෙකුට අඳිනවා කියලා ආරංචියි.

ආ... ඔව්.. ඔව්... මේ දවස්වල අලූත්ම වේදිකා නාට්‍යයට සූදානම් වෙනවා. ඒ තමයි ‘‘ඔටුනු හොරා’’

 

‘‘ඔටුනු හොරා’’ වේදිකාවේ අලූත් පිම්මක්ද?

2017-01-27-ent-20ඇත්තටම ඔව්.. මේකේ පිටපත ලිව්වේ ප‍්‍රියන්ත රණසිංහ. පැරණි ටීටර් නාට්‍යවල ලක්ෂණ සහ නව නාට්‍ය ලක්ෂණත් එකට එකතු කරලා ඒ අපූර්වත්වයෙන් මේක නිර්මාණය කරන්නෙ චූලා මෙන්ඩිස් කියන අධ්‍යක්ෂවරයා. මේ නාට්‍ය දේශපාලන ප‍්‍රහසනයක් කියලත් හඳුන්වන්න පුළුවන්.

 

වර්තමානයේ වේදිකාවට හොරු නාට්‍ය රැල්ලක් ආවනේ? චරිතේ හොරු අරන්, අලූත් හොරෙක් ඕනෑ. මාර හොරු. හොරු හොඳයි, සිහින හොරු අරන් වගේ නාට්‍ය... ඔටුනු හොරාත් මේ නාට්‍ය රැල්ලට ආපු තවත් නාට්‍යයක්ද?

නැහැ. මේ ඊට හාත්පසින්ම වෙනස්වූ නාට්‍යයක්.

 

මොකක්ද ඒ වෙනස?

ඕනම තැනක ඉන්නවා බලයට කෑදරකම් කරන, කුමන්ත‍්‍රණය කරන පිරිසක්. ගොඩක්ම මේ දේවල් කරන්නේ අපේ ළඟින්ම ඉන්න හොඳම හිතවතා. මේක ඉතිහාසය පුරාමත් තිබුණ දෙයක්. තාත්තා මරලා පුතා රජකම ගන්නවා. සහෝදරයා, වැඩිමල් සොහොයුරාව මරලා රජකම, දේපල ගන්නවා. කාට හෝ තියෙන බලයක් තව කෙනෙක් උදුරගන්න තමයි උත්සාහ කරන්නේ. ඒක දැන් පවතින සමාජ ක‍්‍රමය බවට පත්වෙලා. දේශපාලනයේ වගේම සේවා කාර්යාලවල මේ න්‍යාය ක‍්‍රියාත්මක වෙනවා. ඕනම තැනක උඩ ඉන්න එකාගේ කකුලෙන් අදින්න තමයි යට ඉන්න උන් මාන බලන්නේ. මේක ඉතිහාසයෙත් තිබුණා. අදත් තියෙනවා වගේම මේ ක‍්‍රමය හෙටත් පවතින ක‍්‍රමයක්. මේ නාට්‍යය දේශපාලනික වශයෙන් හාස්‍ය, උපහාසය තීව‍්‍ර කරපු නාට්‍යයක්. ඔටුනු හොරා කියලා නම දාන්නත් හේතුවුනේ ඒකයි.

 

රජෙක් වුනේ කීවෙනි පාරටද?

මම මේ රජ චරිතයක් රඟපාන පළමු අවස්ථාව. ඒ නිසාම වේදිකාවේ රඟපෑ චරිත අතුරින් මට මේ චරිතය ගොඩක් විශේෂයි. ඉස්සර නම් රජා වුනේ ඉතින් ගෙදරට තමයි. දැන් ගෙදර රජාත් අපේ මුණුපුරා.

 

ඉස්සර වගේ නෙමෙයි දැන් සීයා කෙනෙක්නේ.. ඒවුනාට වේදිකාවේ තාමත් පේ‍්‍රම ජවනිකා ලැබෙනවා නේද?

ඔව් නැතුව... නැතුව. රංගන ශිල්පියෙකුට තියෙන කාටවත් නැති එකම වාසිය තමයි ඕන වෙලාවක පේ‍්‍රමවන්තයෙක්, රජෙක්, හොරෙක් වෙන්න පුළුවන්. ‘‘ඔටුනු හොරා’’ නාට්‍යයෙ මගේ බිසවට ඉන්නේ ලක්ෂිකා ෆොන්සේකා.

 

මෙච්චර කල් වේදිකාවේ රජා වුණේ විජය නන්දසිරි මහත්මයා. දැන් ඔබ වේදිකාවේ ඔටුනු පළඳින්න යනවද?

ඇත්තටම මට මේ චරිතය ලැබෙද්දි විජය අයියා කරපු රජ චරිත මට මතක් වුණා. විජය කියන්නේ අතිවිශිෂ්ඨ රංගන ශිල්පියෙක්. ඒ ඔහු වේදිකාවේ ගොඩ නගපු තැන, ඒ හිඩස පුරවන්න මේ මිහිපිට ඉන්න එකම ජගතෙකුටවත් බැහැ. ඔහු පැළඳූ ඒ ඔටුන්න කාටවත් ගන්න බැහැ. මම ඔහුට වඩා හාත්පසින්ම වෙනස් රංගන ශිල්පියෙක්. සිනමාවෙත්, වේදිකාවෙත්, පුංචි තිරයෙත් හැමදාම මම රඟපෑවේ මගේම ශෛලියකින්.

 

ඔබ වැඩිපුරම රඟපාලා තියෙන්නේ වේදිකාවේද?

මම රඟපෑ වේදිකා නාට්‍ය නම් සියයකට වැඩියි. නමුත් ඔටුනු හොරා නාට්‍යය මට ගොඩාක් විශේෂයි. මොකද ප‍්‍රධාන චරිතයක් එක්ක අලූත්ම පිටපතකට වේදිකා නාට්‍යයක රඟපාන්නේ අවුරුදු අටකින්.

 

කොහොමද දුව ප‍්‍රතිභා දැන් රංගනයෙන් ඈත් වෙලාද?

දුවත් දැන් රැකියාවක නිරත වෙනවා. මුණුපුරාට දැන් අවුරුදු එකහමාරයි. දුවත් ළඟදීම රංගනයට පිවිසේවි.

 

දැන් සීයා කෙනෙක් නිසා වැඩ රාජකාරි බහුල ඇතිනේද?

ඇත්තටම.. මේ යන්නේ මගේ ජීවිතේ සතුටුම අවධිය. මුණුපුරා තමයි දැන් මගේ ලෝකේ. දැන් මමයි මගේ බිරිඳයි ඒ සතුට උපරිමයෙන්ම විඳිනවා. මුණුපුරා ගෙදර එනවා කියලා දැනගත්තම කොහේ ෂුටිං හිටියත් මම ඉක්මනට ගෙදර දුවනවා. එයාගේ මූණ බලන්න.

 

මේ දවස්වල මොනවද අලූත් කලා වැඩකටයුතු එහෙම?

‘‘සිඳු’’ ටෙලිනාට්‍යයට අමතරව අලූත් ටෙලිනාට්‍ය කිහිපයකටම සම්බන්ධ වෙලා ඉන්නවා. ටිකක් විතර මේ දවස්වල කාර්යබහුලයි. තව ශ්‍රී වික‍්‍රම කියන වේදිකා නාට්‍යයකටත් සම්බන්ධ වෙලා ඉන්නවා.

 

සිඳු ටෙලිනාට්‍යයට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

හිතුවෙවත් නැති විදිහට ඒ චරිත ගොඩක් ජනප‍්‍රිය වුණා. එහි අධ්‍යක්ෂවරයා, රචකයා විශේෂයෙන් මතක් කරන්න ඕන. ටෙලිවිෂනයෙන් ඈත් වෙලා ඉඳපු පේ‍්‍රක්ෂකයෝ කාලෙකට පස්සේ ටෙලිවිෂනයට ලංකලේ සිඳු ටෙලිනාට්‍ය. මගේ රංගන ජීවිතේ මුලින්ම සීයා කෙනකුගේ චරිතය නිරූපණය කළේත් සිඳු නාට්‍යයේ. තාත්තට, බාප්පට, අයියට, මල්ලිට, මහප්පට ඉඳලා ඉස්සෙල්ලම සීයා වෙන්න ලැබුනේ සිඳු හරහා. දැන් පොඩි ළමයි මාව දැක්කම සිඳුගේ සීයා කියලා කෑගහනවා. මම බලාගෙන ඉන්නේ මගේ මුණුපුරාත් කවදද සීයා කියන්නේ කියලා අහන්න.

 

නදීශා අතුකෝරළ

 

2017-01-27-ent-19