ගාමිණි සෙනරත්ගේ විරෝධතා ගැන තීන්දුව 12 වැනිදා


(මනෝප‍්‍රිය ගුණසේකර)

කෝටි 55 ක මුදලක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනකුට එරෙහිව මුදල් විශූද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුව විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බවට විත්ති පාර්ශවයෙන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිබඳ තීන්දුව ලබන 12 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය දැනුම් දුන්නේය.

විත්ති පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ එම මූලික විරෝධතාවය සම්බන්ධයෙන් ඔවුන්ද ඊට විරුද්ධව නීතීපතිවරයාද ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය එලෙස දැනුම් දුන්නේය.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතී විරෝධී ආයතයක් වන හෙයින් එම ආයතනයෙන් විමර්ශනය කළ සිද්ධියකට අදාළව නීතීපතිවරයා ලබා දුන් අධිචෝදනා පත‍්‍රයද නීතීවිරෝධී යැයි කියමින් විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ඇතුළු නීතීඥවරුන්ද, පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතී විරෝධී ආයතයක් නොවන බවත් කෙසේ නමුත් එම ආයතනය සම්බන්ධයෙන් මෙම අධිකරණයේ විමසීමක් කිරීමට හැකියාවක් නැති බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර්  ජනරාල්  තුසිත්  මුදලිගේ මහතාද කරුණු ඉදිරිපත් කළහ.

 

ඒ අනුව නීතීවිරෝධී ක‍්‍රියාකාරකම් වලින් උපයාගත් රුපියල් කෝටි 55 ක මුදලක් සාපරාධි ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනකුට එරෙහිව මුදල් විශූද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුව විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නැතැයිද පැවසීය.

ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම විනිසුරු මඩුල්ල ලෙස පත් කරනු ලැබ සිටින කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන සම්පත් විජේරත්න (සභාපති) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවන ලදී.