ග්‍රෙගරි වැවේ වතුර ඉවත් කරයි


නුවරඑළිය ග්‍රෙගරි වැවේ සොරොව්ව විනාශ වෙමින් පවතින බව ලංකාදීප පුවත්පතින් පෙන්වා දීමෙන් පසු වාරිමාර්ග දෙපාර්තමේන්තුව සොරොව්ව අලුත්වැඩියා කටයුතු ඇරඹීය.

1828 අගෝස්තු 11 දින ඉංග්‍රිසි ජාතිකයින් විසින් ඇරඹු නුවරඑළිය අලංකරණ වැඩසටහනේ ඉදිකළ දර්ශනීයම දේ නුවරඑළිය ග්‍රෙගරි වැවයැයි පිළිගැනීමක් ඇත. 1874 වසරේදි ශ්‍රීමත් විලියම් හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා විසින් රන් පවුම් 1,200ක් වියදම් කර හෙක්ටයාර 30ක් පුරා පැතිරෙන අයුරින් තලගල ඔය හා නානුඹය ඇලේ ජලයෙන් ග්‍රෙගරි වැව නිර්මාණය කර ඇත. ඉංග්‍රිසීන් මෙරට ඉදිකළ මුල්ම ජලාශය මෙය යැයි ද මතයක් පවති.

1970 දශකයේ සිට නුවරඑළිය ආශ්‍රිතව සිදුවන වගාවන් හේතුවෙන් පස සෝදා ගොස් ග්‍රෙගරි වැවේ රොන් මඩ පිරෙන්නට විය. විටින් විට එහි රොන් මඩ ඉවත් කැරිණි. එසේ වුව ද වසර 141ක් පැරණි එහි සොරොව්ව කිසිදු අවස්ථාවක දී ප්‍ර‍තිසංස්කරණය වූයේ නැත. ‘ලංකාදීප‘ පුවත්පත මගින් කරන ලද හෙළිදරව්වෙන් පසු එහි සොරොව්ව සංවර්ධනයට පියවර ගනු ලැබීය.

මේ වෙනුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව නුවරඑළිය මහා නගර සභාවට රුපියල් 1,750,000.00 ක මුදලක් ලබා දී ඇත. ග්‍රෙගරි වැවේ සොරොව්ව හා පිටවාන ප්‍රතිසංස්කරණය කිරීම ජල කාන්දු වන ස්ථාන වසා දැමීම, සිමෙන්ති ආස්තරණයක් යොදා බැම්ම ශක්තිමත් කිරීම මේ වනවිට සිදුවෙමින් පවතී.

ප්‍ර‍තිසංස්කරණ අවශ්‍යතා වෙනුවෙන් සොරොව්ව විවෘත කර වැවේ ජලය සියල්ල මුදා හැර තිබෙනු දක්නට ලැබෙයි. පිරී ඇති රොන් මඩ දැන් වැවේ පැහැදිලිව දක්නට ඇත.

ග්‍රෙගරි වැව ආශ්‍රිත ව්‍යාපාරවල නිරතවූවන්, පරිසර සංවිධාන හා යුද හමුදාවේත් නාවික හමුදාවේත් සහයෝගයෙන් ග්‍රෙගරි වැවේ ජලජ පැලෑටි ඉවත්කරමින් පවතින බව ද නුවර එළිය මහ නගර සභාව පවසයි.

Gregory lake  (1) Gregory lake  (2) - Copy Gregory lake  (3) Gregory lake  (4) Gregory lake  (5) Gregory lake  (6)