ග්‍රීක බැඳුම්කර නඩුවෙන් අගවිනිසුරු ඉවත්වේ


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ග්‍රීක් බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් තමා ඉවත් වන බව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා දැනුම් දුන්නේය.

අගවිනිසුරුවරයා මෙසේ පෙත්සම් විභාගයෙන් ඉවත් වූයේ මොහාන් පීරිස් මහතා නීතීඥයකු වශයෙන් සිටියදී ශ්‍රී ලංකා මහබැංකුවේ නීති කටයුතු වෙනුවෙන් පෙනී සිටින ලදැයි සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් ජයසූරිය මහතා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසුවය.

මෙම පෙත්සම අගවිනිසුරු මොහාන් පීරිස්, නිමල් ගාමිණී අමරතුංග සහ සත්‍ය හෙට්ටිගේ මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.