බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දෙවැනි පෙළ ජේලර්වරුන් 12 දෙනකු පළමු පෙළ ජේලර් තනතුරට උසස් කිරීමට පැවති සම්මුඛ පරීක්ෂණයේදී ඇතැම් නිලධාරීන් ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීම, නිසි කලට කාර්යක්ෂමතා කඩඉම් සමත් නොවූ ජෙලර්වරුන්ට උසස්වීම් ලබාදීම සහ අසත්‍ය තොරතුරු ලබාදී පළමු පෙළ ජෙලර් තනතුරට උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව පැමිණිල්ලක් ඉදිරිපත් කළැයි ඔවුන්ගේ නීතිඥ දර්ශන කුරුප්පු මහතා ලිපියකින් මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයාට දන්වා ඇත.
ඒ සම්බන්ධයෙන් එවකට ජනාධිපතිවරයාට ලද පෙත්සමක් මත අක්‍රමිකතා සොයා බලා පරීක්ෂණයක් කිරීමට පත් කළ විගණන නිලධාරී ඩබ්ලිව්.වී.එස්. ෆොන්සේකා මහතාගේ වාර්තාව අනුව දෙවැනි පෙළ ජේලර්වරුන්ගේ සාක්ෂි සහිතව කටඋත්තර ලබාගත් ෆොන්සේකා මහතා තම වාර්තාව මඟින් උසස්වීම් ලැබූ දෙවැනි පෙළ ජේලර්වරුන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇතැයි ද අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇතැයිද නැවත සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සුදුසුකම් ලත් නිලධාරීන් උසස් කරන ලෙසද නිර්දේශ කර ඇත.
නමුත් එවකට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාවූ චන්ද්‍රරත්න පල්ලේගම මහතා එම නිර්දේශ නොසලකා හරිමින් අත්තනෝමතික පාලනයක් ගෙන ගිය බවත් මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට ගිය පැමිණිලිකරුවන්ට චෝදනා කර තිබීම සම්බන්ධවත් ඔහු එම ලිපියේ සඳහන් කරයි.
මානව හිමිකම් කොමිෂන් සභා පනතට පටහැනිව පැමිණිලිකරුවන්ට එරෙහිව හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයා චෝදනා පත්‍රයක් ගොනු කිරීම මානව හිමිකම් කොමිෂන් සභාවට කළ බලවත් අපහාසයක් බවත් දර්ශන කුරුප්පු මහතා පෙන්වා දෙයි.
එම පැමිණිලිකරුවන්ට ස්ථාන මාරුවීම් ලබාදීම, චෝදනා පත්‍ර ලබාදීම, සේවය අතහැර ගියාසේ සලකා සේවයෙන් පහකිරීම ඇතුළු පළිගැනීම් නතර කර දැනටමත් නිකුත් කර ඇති චෝදනා පත්‍ර අවලංගු කරන්නැයි බන්ධනාගාර කොමසාරිස්ට නිර්දේශ කරන මෙන් ඔහු එම ලිපියෙන් ඉල්ලා සිටියි.

