ගසා කෑ වෙළඳුන්ට පොලිසියෙන් අවවාද


කතරගම ගිය වන්දනාකරුවන්ගෙන් ගසා කෑ වෙළඳුන්ට දැඩි අවවාද කළ බව පොලිසිය පවසයි.

ආප්පය රුපියල් 40 ට විකිණීම හා වැඩි මිලට නවාතැන් සැපයීම කතරගම පොලිසිය මැදිහත් වී නවතා දැමීමට කටයුතු කළ බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී. පී. කුමාරගේ මහතා පැවැසීය.

නිවාඩු දිනවල අධික ජනකායක් කතරගම පැමිණි අවස්ථාවේදී  ඇතැම් වෙළඳුන් ප්‍රදේශයේ ජංගම කඩ සාදාගෙන ආප්ප, බීම බෝතල් වැනිදෑ වැඩි මිලට විකුණූ බව දැනගත් පසු කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපාලි කාරියවසම් මහතාට  දැනුම්දීමෙන් මෙසේ වෙළඳුන්ට අවවාද කළ බවත් කිසිදු භාණ්ඩයක් වැඩි මිලට විකිණීමට ඉඩක් තබා නැති බවත් බස්නායක නිලමේවරයා පැවැසීය.

වෙළඳුන්ට අවවාද කිරීම ගැන සෑහීමකට පත්වන්නේ දැයි කතරගම මහ දේවාලය අසල සිටි වන්දනාවේ පැමිණි කතකගෙන් විමසූ විට පැවසූයේ පොලිසියෙන් බේරුණත් වැඩිමිලට බඩු විකුණූ වෙළඳුන්ට දෙවියන්ගෙන් නම් බේරුමක් නොවන බවයි.

දේවාල භූමියේ නොමිලේ කෑම බීම සැපයීමටද සනිපාරක්ෂක කටයුතු සඳහාද  දේවාලයේ සේවකයන්, හමුදා අංශ සහ කතරගම පොලිසිය මැදිහත් වි සියලු පහසුකම් සලසා ඇති බවද කුමාරගේ මහතා කීවේය.

කතරගම අවට වෙළඳාම් කරන වෙළඳුන්ද, පොලිසිය ද , පාරිභෝගික අධිකාරිය, මොනරාගල දිසාපති සමග සෞඛ්‍ය සේවා නිලධරයන් සමග ළඟදීම සාකච්ඡාවක් පවත්වා මෙවැනි දේ සිදු නොවීමට වග බලාගන්නා බවද බස්නායක නිලමේවරයා සඳහන් කළේය.

කතරගම පූජා භූමියට සම්බන්ධ පුද්ගලයකු පැවසූයේ කතරගමට වන්දනාකරුවන් ගේ පැමිණීම නතර වුවහොත් එහි ව්‍යාපාරිකයන් ඇතුළු සියලු දෙනාටම බඩගින්නේ සිටීමට සිදුවන බවයි. එවිට කතරගම ආර්ථිකයම කඩා වැටෙන බවත් ඔහු කීවේය. මේ තත්ත්වය හඳුනාගෙන කතරගමට එන වන්දනාකරුවනට ඉහළම සැලකිලි දැක්විය යුතු බවත් ඔවුන් ගසා නොකෑ යුතු බවත් ඔහු පැවසීය.

කතරගම එකමුතු වෙළඳ සංගමයේ සභාපති කේ.පී.ජී. බන්දුල මහතා පැවසූයේ කතරගම පූජා නගරයේ ස්ථිර කඩ හිමියන් 120ක් පමණ තම සංගමයේ සාමාජිකයන් බවයි. පාරිභෝගික අධිකාරියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂණය යටතේ වෙළහෙළඳාම් කරන තම සාමාජිකයන්ගෙන් කළු කඩ වෙළඳාමක් කිසිවිටක සිදුනොවන බව ඔහු කීවේය. එවැනි දේ සිදුවනුයේ 300- 400 ක් පමණ වන තාවකාලික හා අනවසර වෙළඳුන්ගෙන් බව ඔහු පැවසීය. කතරගමට සෙනග එන විට ලොරියකින් හෝ ට්‍රැක්ටරයකින් අවුත් ආප්ප කඩ, තේ කඩ හා වෙනත් කඩ අටවන බවත් පසුදා එළිවෙන විට එම කඩය එතැන නැති බවත් ඔහු සඳහන් කළේය. මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබී නැතැයිද ඔහු කීවේය.