(සිතුම් චතුරංග)
ගවයකු සපා කෑවයි උරණවී වවුනියාව, මාමඩුව ගම්මානයේ නිවාසවල සිටි සුනඛයින් 15 දෙනකු වස මිශ්‍ර මස් ලබාදී ඝාතනය කළ හිටපු හමුදා සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව මාමඩුව පොලිසිය කියයි.
කිසියම් අයකු විසින් මස් සහිත ආහාර ද්‍රව්‍යක් ලබාදීමෙන් පසුව සුනඛයින් මියයෑම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පිරිසක් මාමඩුව පොලිස් ස්ථානය වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනයකදී සැකකරු අත්අඩංගුවටගත් බව පැවසීය.
පොලිසිය පැවසූයේ සැකකරු ගවපාලනය සිදුකරන අතර ඔහුගේ ගවමඩුවෙහි සිටි ගවයකු හා පැටවකු සුනඛයින් විසින් සපාකෑමෙන් අනතුරුව උරණ වී වස මිශ්‍ර මස් ලබාදීමෙන් මෙම සුනඛයින් ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණයවූ බවයි.
මස් කැබැල්ලකට වස මිශ්‍රකර නිවාස ඉදිරිපිටට ගොස් සැකකරු නිවාස වල ඇතිදැඩි කරන සුනඛයින්ට ආහාරය සඳහා ලබාදෙන අයුරු ප්‍රදේශවාසීන් කිහිපදෙනකු දැක ඇතැයිද පොලිසිය පැවසීය.
ඇතැම් නිවැසියන් සුනඛයින් මියයෑම සාමාන්‍ය රෝගී තත්වයක් බවට සිතා මියගිය සුනඛයින් වළදමා ඇති බවත් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පවසා සිටියේ ගවයින් සම්බන්ධ සිද්ධීන් නිසා සැකකරු නිවාස වල ඇතිකරන සුනඛයින්ට අවස්ථා ගණනාවකදී වස ලබාදී ඝාතනය කොට ඇතිබවත්ය.
අත්අඩංගුවට ගත් සැකකරු මාමඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 පුද්ගලයකු වන අතර ඔහු පොලිස් ඇපමත මුදාහැර තිබේ.
සැකකරු අද(12) වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වවුනියාව කොට්ඨාස භාර පොලිස් අධිකාරී තිස්සලාල් ද සිල්වා මහතාගේ උපදෙස් මත මාමඩුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්මාල් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

