( කාංචන කුමාර ආරියදාස)
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැටකොලුවාගම සහ හබරවත්ත යන ගම්මාන දෙකේ පවුල් 120ක පමණ ජනතාවක් ආහාර සහ පොදු පහසුකම් හිඟවීම ඉතා දුෂ්කර ජීවිතයක් ගතකරමින් සිටිති.
නිසි ආකාරයෙන් කන්න හයක් පමණ වගා කර ගත නොහැකි වීම නිසා මෙම ජනතාව දැඩි ආහාර අර්බුදයකට ලක්ව සිටිති. ඔවුන් කියා සිටියේ වැසි ජලයෙන් පමණක් සිය ගොවිතැන් කටයුතු සිදුකර ගන්නා බවයි.
නිසි කලට වර්ෂාව නොලැබීම හේතුවෙන් වසර කිහිපයක සිට ගොවිතැන්බත් අහිමිව ජීවත්වීමට නොහැකි තත්ත්වයකට තමන් පත්ව සිටින බව ඔවුහු පැවසූහ. මේ දිනවල වැසි ලැබෙන නමුදු නැවතත් වගා කටයුතු ආරම්භ කිරීමට ඔවුන්ට ආර්ථික ශක්තියක් නොමැත.
මෙම ගම්මානවල ජීවත්වන පවුල් කිහිපයක් හැර සෙසු සියල්ලෝ නිසි නිවාසයක් හෝ සනීපාරක්ෂක පහසුකමක් නොමැති ව සිටින අතර බොහෝ දුවාදරුවන් නිසි වස්ත්‍රාභරණ පවා නොමැතිව අසරණව සිටිති. නිවෙස් හිමියෝ තාවකාලිකව තැනූ නිවාසවල වාසය කරති.
ඇතැම් මවුවරුන් තම දරුවන්ට උගැන්වීමට දැඩි උත්සාහයක නිරත වන්නේ කුසට අහරක් පවා නොගෙනය. ඔවුහු දිනකට වේලක් පමණක් ආහාර ගනිති.
එම ගම්මානවලට ගමන් කිරීමට නිසි මාර්ගයක් පවා නොමැත. විශාල දුරක් ගෙවා ආරෝග්‍ය ශාලාවට ගමන් කිරීමට සිදුවන බවත් රාත්‍රී කාලයේ වන අලින්ගෙන් පීඩා විඳීමට සිදුවන බවත් ඔවුහු පවසති.
නැවත වගාවන් ආරම්භ කරන තෙක් දින කිහිපයකට හෝ වියළි ආහාර යම් ප්‍රමාණයක් ලබා දෙන්නේ නම් එය ප්‍රමාණවත් වන බව ඔවුහු පවසති.
ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කී සැනින් බොහෝ දෙනෙකුට මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සිහි වන නිසා මෙම ගම්මානයට ලැබෙන බොහෝ පොදු පහසුකම් අහිමි වී තිබෙන බව ගම්මු පවසති. එහෙත් මහවැලි දිය පොදක් හෝ තම ගම්මානයට නොලැබෙන බව ඔවුන්ගේ අදහසයි.
මෙම ගම්මානයේ පදිංචිව සිටින ජනතාව පිළිබඳව රජයේ කඩිනම් අවධානය යොමු ව අවම වශයෙන් වියළි ආහාර යම් ප්‍රමාණයක් හෝ ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.