ගල් පෙරැළීමේ අවදානමකින් පවුල් 36ක් ඉවත් කෙරේ


(සමන් පාලිත නානායක්කාර)

පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ බෙරගල කොස්ලන්ද මාර්ගයේ පහළ ගල් කන්ද ප්‍රදේශයට විශාල ගල් පෙරැලීමේ හා පස්කඳු කඩා වැටීමේ අවදානමක් මතු වීමත් සමඟ ඒ අවට පදිංචි පවුල් 36ක පුද්ගලයන් 153 දෙනෙකු ඉවත් කළ බව හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා අද ( 20 ) පැවසීය.

ඔවුන් ජීවත්වන කාමර පේළි අතරින් විශාල ජල පහරවල් ගලා යාමත් සමග නාය  යාමේ සහ  විශාල ගල් ඇන්ඳකින් ගල් කඩා වැටීමේ අවදානමක් මතු වූ බැවින් වහාම ඔවුන් පදිංචි ස්ථානවලින් ඉවත්කර පහළ ගල් කන්ද ප්‍රාථමික විද්‍යාලයේ තාවකාලික කඳවුරක රඳවා ඇති බව ද හෙතෙම පැවසීය.

මෙම ජනතාව නායයාමේ අධි අවදානම් කලාපයක ජීවත්වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කළ භූමි පරීක්ෂාවකින් තහවුරු කිරීමෙන් පසු එම ස්ථානවල පදිංචියෙන්ම ඔවුන්  ඉවත් කිරීමට නිර්දේශ ලබා දී ඇති බවත් මේ වන විට පවුල් 16ක් සඳහා විකල්ප ඉඩමක නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.