ගල් අඟුරු අදියුරුන්ට ඇප


කල්පිටිය, නොරොච්චෝලේ ලංකා විදුලි බල මණ්ඩලයේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට ගෙනා ගල් අඟුරු නැව් දෙකකින් රුපියල් කෝටි 154 කට ආසන්න වටිනාකමකින් යුත් ගල් අඟුරු සම්බන්ධයෙන් විශ්වාසය කඩ කළැයි ලංකා ගල් අඟුරු පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරු සිව්දෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (4) රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබූහ.

ශ්‍රී ලංකා නැව් සමාගමේ සභාපති කාංචන රත්වත්තේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර් කපිතාන් රවි ජයවික්‍රම භාණ්ඩාගාර නියෝජිත ආර්.එන්.බී.කේ. රණතුංග හා චූලානන්ද දෙල්ගොඩ එසේ ඇප ලදහ. සැකකරුවන් සාපරාධී විශ්වාසය කඩ කළැයි බැලූ බැල්මට තහවරු කරන සාක්කි උසාවියට ඉදිරිපත් කර නැතැයි මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.

රහස් පොලිසියේ විශේෂ අංශය කරුණු දක්වමින් ප්‍රකාශ කළේ සිංගප්පූරුවෙන් ආනයනය කළ ගල් අඟුරු නැව් දෙක ඉන්දියාවේ ටොරෙන්ට් බල ශක්ති සමාගමට යළි නැව්ගත කිරීමට ලංකා ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය එකඟත්වයකට එළැඹ ඇති බවයි.

අයහපත් මෝසම් කාලගුණය නිසා එම නැව්වල තිබූ ගල් අඟුරු ශ්‍රී ලංකාවේ වරායකින් ගොඩබෑමට නොහැකිවූ බවත් ඇමැති මණ්ඩලයේ අනුමැතිය නොලැබ එම ගල් අඟුරු නැව් දෙක ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කර ඇති බවත් රහස් පොලිසිය කියා සිටියේය.

ඉන්දියාවේ සමාගම සමග ඇතිවූ ගිවිසුම කඩකරමින් ශ්‍රී ලංකාවට බාල ගල් අඟුරු එවා ඇති බවත් එයින් ශ්‍රී ලංකාවට සිදුවූ අලාබය රුපියල් කෝටි 153.6 ක් බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

2012 ජූනි 29 වැනිදා එම ගල් අඟුරු නැව් දෙක ඉන්දියාවට යැවූයේ මුහුදේ රළු ස්වභාවය නිසා යැයිද කළ හැකි අන්දෙයක් නොවී යැයිද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කීවේය.

ලංකාවේ හා ඉන්දියාවේ සමාගම් දෙක එම ගනුදෙනුවට එකඟවී ඇතැයිද එහෙයින් සාපරාධී වරදක් කර නැතැයිද විදුලිබල මණ්ඩල ඇමැතිගේ හා ලේකම්ගේ අනුමැතිය ඇතිව ලංකා ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂකවරුන් ඒකමතික තීරණයක් ගෙන ඇතැයිද එවකට සිටි නීතිපතිද ඊට අනුමැතිය දී ඇතැයිද ඔහු කීවේය. මේ අතර සමාගමේ සෙසු අධ්‍යක්ෂකවරුන් දෙදෙනා අත් අඩංගුවට නොගත්තේ ඇයිදැයි මහේස්ත්‍රාත් රහස් පොලිසියට දොස් පැවරීය. ඔවුන් දෙදෙනාද ඕස්ට්‍රේලියාවට ගොස් සිටින බව කියන හිටපු ලේකම්වරයකු අධිකරණයට ඉදිරිපත් කරන්නැයිද මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කළේය. වැඩිදුර විභාගය මාර්තු 18ට කල් තැබිණි.