ගමේ තොටේ බැහැලා වැඩ කරන සෞඛ්‍ය වෘත්තිකයන්ට සලකයි


(අංජුල මහික වීරරත්න)

ක්ෂේත්‍ර රාජකාරි වල නිරත වන සෞඛ්‍ය සේවකයින් හට උපරිම පහසුකම් ලබාදෙන බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය සේවාව ආයතන වලට සීමා නොවී ක්ෂේත්‍රයට ගෙන ඒමට කටයුතු කරන බව කී අමාත්‍යවරයා සියලු සෞඛ්‍ය වෘත්තිකයින් අවබෝධයෙන් සහ කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

පවුල් සෞඛ්‍ය සේවාවේ පැන නැගී ඇති ගැටළු සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති අතර එහි දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

සෞඛ්‍ය සේවාව ආයතන තුළට සීමා නොවී ක්ෂේත්‍රයට ගෙන ඒමට කටයුතු කරන බවත්, එහි දී ක්ෂේත්‍රයේ රාජකාරී නිසි පරිදි ඉටු නොවුන හොත් සෞඛ්‍ය සේවාවේ කුමන සංවර්ධනයක් කළ ද ඉන් ප්‍රයෝජනයක් නොවන බව  පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ක්ෂේත්‍රයේ රාජකාරි කටයුතු වල නිරත වන සෞඛ්‍ය සේවකයින් හට උපරිම පහසුකම් ලබාදෙන බව කීය.