(රෝහණ සමරවීර)
සෙවනගල ගම්මාන හතරක ජනතාවට බෙදා හැරීම සදහා තණමල්විල ප්‍රාදේශීය සභා බවුසරයෙන් ගෙනා ජලය පීඩාවට පත් ගම්වාසීන්ට නොදී හුලංකපොල්ල ප්‍රදේශයේ ලැගුම්හළක පිහිනුම් තටාකයට මුදා හැරීමට එහි රියදුරු පියවර ගත් බව කියමින් ගම්වැසියන් පිරිසක් නොසන්සුන්තාවයට පත්වී එම ස්ථානය වටලනු ලැබීය.
ප්‍රදේශයේ ජල පාරිභෝගික ගම්මු එහිදී පැවැසුවේ සෙවනගල හුලංකපොල්ල සම්පත්ගම, නළසිරිගම, වාසනාගම යන ගම්මානවල ජීවත් වන පවුල් 500 ක සාමාජිකයන්ට දින දොළහක කාලයක් ජලය නොමැතිව සිටින අවස්ථාවක මෙවැනි දෙයක් සිදුවූ බවකි.
එම අවස්ථාවේ තණමල්විල ප්‍රාදේශීය සභාවේ බවුසරයකින් ජලය තම ගම්මාන වලට ගෙනවිත් කීප දෙනෙකුගේ භාජන වලට පමණක් බවුසරයෙන් ජලය සපයා ඉතිරි ජලය මුදල් වලට ලැගුම් හලේ පිහිනුම් තටාකයට මුදා හැරීමට රියදුරු කටයුතු කිරීමට ගම්මු විරෝධතාවය දැක්වූහ.
ජලය නොමැතිව දැඩි පීඩාවට පත්වී සිටි ජනතාවගේ එම විරෝධතාවය හමුවේ බවුසරයේ රියදුරු බවුසරය ලැගුම් හල් පරිශ්‍රයේ දමා මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියකට නැගී ආරක්ෂාව පතා ඒ ආසන්නයේ ස්ථාපිත කර ඇති පොලිස් මුරපොලක් වෙත පලා ගියේය.
සෙවනගල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේග පීග සමීර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ ලැගුම්හළ වෙත ගොස් එය බාරව සිටි පුද්ගලයාට දැඩි ලෙස අවවාද කරමින් පැවැසුවේ ජලය නොමැතිව දැඩි අසීරුතාවයට පත්වී සිටින ජනතාව දෙස සානුකම්පිතව බලා කටයුතු කරන ලෙසයි.
ජල බවුසරය ලැගුම් හල වෙත ගෙන ආවේ ඇයිදැයි පොලිසිය එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු නිරුත්තර විය. පොලිසිය මැදිහත්ව පොලිස් මාර්ග බාධකයේ රැදී සිටි රියදුරු එම ස්ථානයෙන් බවුසරය අසලට කැඳවාගෙන පැමිණ විරෝධතාකරුවන් ඉදිරියේ ඔහුට අවවාද කර එවැනි දෙයක් ඉදිරියේදි නොකරන ලෙසයග නැවැත ගම්මුන්ට ජලය බෙදා හරින ලෙසද පොලිසිය උපදෙස් දෙනු ලැබීය.
පසුව පොලිස් නිලධාරියාගේ ජංගම දුරකතනයෙන් තණමල්විල ප්‍රාදේශීය ලේකම් වරයාට කතා කර එම සංවාදය විරෝධතාකරුවන්ට ඇසෙන්නට සළස්විය. එහිදී ලේකම් වරයා පැවැසුවේ බවුසරයේ රියදුරු ජලය ලැගුම් හළකට මුදා හැරීමට කටයුතු කිරීම වැරුදි ක්‍රියාවක් බවත් ජල මෝටර් අලුත්වැඩියා කර ජලය නොමැති ගම්මාන වලට ජලය සැපැයීමට ඉදිරි දිනයේදී පියවර ගන්නා බවකි.