ගම්මන්පිල බදාදා 4වැනි තට්ටුවට


ඡන්දය දින රාත්‍රී රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කළැයි විදේශ ඇමැති මංගල සමරවීර මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා බදාදා (21) රහස් පොලිසියට කැඳවා ඇත.

රහස් පොලිසියේ සහකාර   අධිකාරී ශානි අබේසේකර මහතා දුරකතන ඇමතුමකින් ඔහුට දැනුම් දී ඇත්තේ සවස දෙකට රහස් පොලිසියට පැමිණ ප්‍රකාශයක්   දෙන ලෙසයි.

ඡන්දය දින රාත්‍රී තමා අරලියගහ මැදුරට ගිය බවත්, එලෙස ගියේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට නොවන බවත් ගම්මන්පිල මහතා ‘එසැණට‘ කීවේය.

‘අගවිනිසුරුවත්, හමුදා නායකයනුත්, පොලිස්පතිත් එහි සිටි බව කියන්නේ බොරු. මමයි, ජී එල් පීරිස් ඇමැතිතුමයි, ආරක්ෂක ලේකමුයි, මහින්ද මහත්තයයි විතරයි එහේ හිටියේ.

මහින්ද මහත්තයට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කරන්න ඕනෑ නම් මායි ජීඇල් ඇමතිතුමයි සම්බන්ධ කර ගන්න ඕනෑද?‘ යනුවෙන් ද ගම්මන්පිල මහතා කීවේය.

ඡන්දය දා රාත්‍රී අරලියගහ මන්දිරයට ආරක්ෂක ප්‍රධානීන් හා නීතිපති ද කැඳවූ බව මංගල සමරවීර මහතා මීට පෙර ප්‍රකාශ කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද එය තහවුරු කරන බව මාධ්‍ය වාර්තා කළේය. අගවිනිසුරු මොහාන් පීරිස් එහි සිටි බව අගමැති ද කීවේය.