දකුණු සහ බස්නාහිර පළාත් හි අපේක්ෂකයින් සදහා මනාප අංක නිකුත් කිරීමේ දී සාමකාමී වටපිටාවක් අද පැවැති බව කැෆේ සංවිධානය කියයි.
එම සංවිධානය මෙසේ ද කියයි.
‘කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන් හි අපේක්ෂකයින් දෙදෙනෙකු මනාප ලැයිස්තුවේ ඉහළින්ම ඇති ‘එකේ අංකය‘ ලබා ගැනීම සදහා තම උප්පැන්න සහ ජාතික හැදුනුම්පත් වෙනස් කිරීම හැරුණු කොට මනාප අංක සම්බන්ධයෙන් අපේක්ෂකයින්ගෙන් පැමිණිල්ලක් මේ දක්වා ලැබී නොමැත.
‘අඅඅඅ‘ ලෙස නම වෙනස් කළ අයෙකුට කොළඹ දිස්ත්‍රික්කයේ එජාප ලැයිස්තුවෙන් ද, ‘අආ‘ ලෙස කොටසක් තම නමට ඇතුලත් කොට ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අයෙකු ගම්පහ ලැයිස්තුවෙන් ද මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටී. ‘අඅඅඅ‘ සහ ‘අආ‘ යන අකුරු එකතු කිරීම නමක් ලෙස අර්ථ ගැන්විය හැකි ද යන්න පිළිබද නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ සංවිධානය) රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා විමසීමට කටයුතු කොට ඇත.
නව සම සමාජ පක්ෂය විසින් ගම්පහ දිස්ත්‍රික්කයට ඉදිරිපත් කොට ඇති අපේක්ෂක ලැයිස්තුවේ ව්‍යාජ නම් සහ දත්ත ඇතුලත්ව ඇති බව තහවුරු වී ඇති නමුත් මැතිවරණ නීතියට අනුව මෙම ව්‍යාජ නම් සහිත පුද්ගලයින්ට පවා මනාප අංක නිකුත් කරනු ලැබ ඇත. නාම යෝජනා පත්‍රයක් පිළිගැනීමෙන් පසුව එය ප්‍රතිකේෂ කිරීමේ නෛතික හැකියාවක් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියාට හෝ මැතිවරණ කොමසාරිස්වරයාට නොමැත.
මනාප අංක ලබා ගැනීමෙන් පසුව මාතර දී අධික වේගයෙන් ධාවනය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකුගේ මැතිවරණ කටයුතු සදහා යොදා තිබූ වාහනයක් මාතර ආසිරි රෝහල ඉදිරිපිට මගී පාර මාරුවන ස්ථානයේ දී අනතුරට පත් විය. කහ ඉර මත සිදු වූ මෙම අනතුරින් පසුව ජීප් රථය මාතර පොලීසිය වෙත රියදුරා විසින් පදවාගෙන ගොස් ඇත. තුවාලකරු බරපතල තත්වයෙන් මාතර මහ රෝහලේ 4 වන වාට්ටුවට ඇතුලත් කොට ඇත. මෙම රිය අනතුර මැතිවරණය හා ඝෘජු සම්බන්ධයක් නොමැත.‘

