ගම්පහට 5,000 දීමනාව දෙන්න කෝටි 232ක් ඉල්ලයි


(තිළිණි ද සිල්වා)

නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බල ප්‍රදේශ 15කට රුපියල් 5000 දීමනාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසීය. ඒ අනුව පවුල්  464,254ක් සඳහා ලබාදීමට රුපියල් කෝටි 232කට අධික මුදලක් ඇස්තමේන්තුකර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

පළමු අදියර යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය හා වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශ සඳහා රුපියල් 5000 දීමනාව මේ වනවිට ගෙවා අවසන්කර තිබෙන බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කීය.

පසුගිය ඉරිදා (18 වැනිදා) සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  කියා සිටියේ කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක් වෙන් කළ බවයි.

එම වාර්තාව https://tinyurl.com/y566utws  ඔස්සේ කියවිය හැකිය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 3702ක් නිරෝධායනයට යොමුකර ඇති අතර එම පවුල් සඳහා අවශ්‍ය  වියළි ආහාර ලබාදීමට ද පියවරගෙන ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කීය.

දිස්ත්‍රිකිකයේ නිවාස, වැඩිහිටි නිවාස සහ ආර්ථික දුෂ්කරතා ඇති පිරිවෙන් සඳහා වියළි ආහාර ලබාදීමට රුපියල් මිලියන 16ක මුදලක් වෙන්කර ඇත.