ගම්පහ වාහන ලීසිං හා රන් බඩු උකස් ආයතනයක ගම්පහ ශාඛාවේ කොල්ලය සිදු වී දින දොළහක් යන්නට පෙර රුපියල් පහලොස් ලක්ෂයක පමණ රන් ආභරණ සහ රුපියල් 2700ක මුදල් සොයා ගැනීමට පොලිසිය සමත් විය.
ගම්පහ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් නෙළුවේ සිට රැදී සිටිමින් දුන් තොරතුරු අනුව කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී මේ භාණ්ඩ ගැන තොරතුරු හෙළි වී ඇත.
ඒ අනුව කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් සමරසිංහ මහතාගේ උපදෙස් පරිදි නෙළුවට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් එම රන් ආභරණ සොයා ගෙන තිබේ.
සොයා ගත් රන් ආභරණ අතර රන්මාල 14ක්, වලලු හයක්, රන් මුදු අටක්, පෙන්ඩන්ට් පහක්, පංචායුද දෙකක්, කරාබු ජෝඩු 10ක් සහ බේස්ලට් තුනක් ද වෙයි.
පසුගිය 21 වැනිදා මේ කොල්ලය සිදුවූ අතර කොල්ලකරුවෝ බැංකුවේ සේප්පු දෙකක තිබූ රුපියල් එක්කෝටි හැට අට ලක්ෂ අසූදහස් හයසියයක රන් බඩු පැකට් 186ක් සහ මුදලින් රුපියල් එකොළොස් ලක්ෂ හැත්තෑ නවදහස් අටසියයක් රැගෙන ගියහ.
කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එන් උපුල් සමරසිංහ, පොලිස් පරීක්ෂක එස් ඩබ්ලිව් වී සුදසිංහ, උප පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ පියසිරි, පොලිස් සැරයන් 1043 විකුම්සිරි, පොලිස් කොස්තාපල්වරුන් වන 29593 රසික, 32693 අරුණ, 40095 කරුණාරත්න, 36968 විජේසිංහ සහ 48949 නන්දන යන මහත්වරු නෙළුවට ගොස් භාණ්ඩ සොයා ගත්හ.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් ඩබ්ලිව් එම් ඒ එස් රාජකරුණා, පොලිස් සැරයන්වරුන් වන 52478 ආරියපාල, 9840 ගුණසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන 55460 ධනපාල, 87473 ලේනවල මහත්වරු නෙළුවට ගොස් තොරතුරු රැස්කළහ.
නෙළුව වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාගරත්න මහතා, පොලිස් කොස්තාපල් 5883 ජයන්ත ඇතුළු නෙළුව පොලිසියේ සියලු නිලධාරීන්ගේ සහාය ගම්පහ පොලිසියට සහ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට ලැබිණි.