ගම්පහ අලුත් කරන කෙටුම්පත හදයි


(අංජුල මහික වීරරත්න)

“සියනෑවේ පිබිදෙන හරිත අගනගරය ”ලෙස ගම්පහ සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය තීරණය කර තිබෙි.

ඊට අදාළ සංවර්ධන සැලැසුම් කෙටුම්පත නාගරික සංවර්ධන අධිකාරිය සකස් කර ඇත.

කෙටුම්පත් කරන ලද ගම්පහ නගර සංවර්ධන සැලැස්ම සදහා මහජන නියෝජිතයින්ගේ සහ නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අද (20) දින නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ. 

මෙහිදී ගම්පහ නගර සංවර්ධන සැලැස්මේ කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය  ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාට හා ගම්පහ ප්‍රාදේශීය සභා සභාපති රංජිත් ගුණවර්ධන මහතාට ලබා දුන්නාය. 

ගම්පහ නගර සභාවේ සහ ප්‍රාදේශීය සභවේ අනෙකුත් මන්ත්‍රීවරුන් වෙතද මෙම කෙටුම්පත ලබා දෙන අතර ඔවුන්ගේ සහ මහජනතාවගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සදහා දින 60 ක කාලයක් ලබා දී තිබේ. ඉන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගම්පහ නගර සංවර්ධන සැලැසුම ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලබයි. 

ඉඩම් හා ගොඩනැගිලි සංවර්ධනය, ආර්ථික හා සංචාරක සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, තිරසාර පරිසර සංවර්ධනය හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම යන ප්‍රධාන උපාය මාර්ග 5 කින් මෙය සමන්විතයි.