පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ විකාශනය වු දැන්වීම් ස`දහා අයවිය යුතු මුදල් සම්බන්ධයෙන් වැරදි ලෙස ගණනය කිරීම් සිදු වී ඇති බව බරපතල වංචා දුෂණ කොමිසම හමුවේ හෙළි වු තොරතුරු සම්බන්ධයෙන් එහි ගණකාධිකාරීවරයා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයාට සහ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥවරයාට කොමිසම දැනුම් දුන්නේය.
එම දැන්වීම් සඳහා රුපියල් කෝටි 10 1/2 කට අධික මුදලක් අයවිය යුතු බවට කොමිසමට පැමිණිලි ලැබී තිබුණත් මේ සම්බන්ධයෙන් පැවැති සාක්කි විභාගයේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතාගේ හරස් ප‍්‍රශ්න වලට පිළිතුරුදෙමින් ස්වාධීන රූපවාහිනි සේවය අභ්‍යන්තර විගණන නිලධාරී අලගියවන්න කීවේ විගණනයේදී වැරදි සිදු වී ඇති බවය.
මේ අනුව ලබන 05 වැනිදා කොමිසමට පැමිණෙන ලෙස ස්වාධීන රූපවාහිනි සේවය අභ්‍යන්තර විගණන නිලධාරී නුවන් මංජුල අලගියවන්නට දැනුම් දුන් කොමිසමේ විනිසුරු මඩුල්ල ඔහු සමඟ එක්වී විගණනය කිරීම් පිළිබඳව සම්මුඛ සාකච්ඡාවක් පවත්වන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතාට සහ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතාට කොමිසම දැනුම් දුන්නේය.

