ක‍්‍රිකට් බලන්න අප‍්‍රිකා ගිය භාග්‍යා


2017-02-05-ent-09

පුංචි තිරය හැඩ කළ දක්ෂ රංගන ශිල්පිනියක ලෙස භාග්‍යා හෙට්ටිආරච්චි නම් කරන්න පුළුවනි. කෙතරම් දක්ෂ වුණත් භාග්‍යා විවාහයෙන් පසුව රංගනයට එක්වුණේ නැහැ. භාග්‍යාගේ සැමියා කවුද කියලා අමුතුවෙන් හැඳින්වීම් කළ යුතුත් නැහැ. ඔහු තමයි ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා. පසුගියදා දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වූ ටෙස්ට් තරග සඳහා සහභාගිවීමෙන් අනතුරුව කෞෂල්‍ය නැවත ශ්‍රී ලංකාවට පැමිණියා. මෙම සංචාරය පුරාවටම ඔහුගේ සුරූපී බිරිඳ භාග්‍යා තරග නැරඹීම සඳහා එක්ව සිටි අයුරු දක්නට ලැබුණා. දක්ෂතා වගේම පසුබැසීම් අතරේ තම සැමියාට ශක්තියක් වෙමින් ඔහු දිරිගන්වන මේ බිරිඳ දකුණු අප‍්‍රිකානු සංචාරයේදී අත්දැකීම් ලද රස මුසු දේ ගැන වගේම ඇය ගැනත් සඳැල්ලට කීවේ මෙලෙසිනි.

 

භාග්‍යා, දැන් රඟපාන්නෙ නැද්ද?

2017-02-05-ent-10දැන් රඟපාන්නෙ නැහැ.

 

මේ දිනවල මොනවද කරන්නෙ?

විශේෂ දෙයක් නැහැ. ක‍්‍රිකට්ම තමයි.

 

ඒ කියන්නෙ ඔයත් ක‍්‍රිකට් ක‍්‍රීඩා කරනවද?

මං ඉතිං කෞෂල්‍යයට උපරිම සහාය දෙනවා. මැච් බලන්න යනවා, ඒ වගේ දේ එක්ක තමයි දවස ගෙවෙන්නෙ.

 

දකුණු අප‍්‍රිකාවට ගිහින් තරඟ නරඹද්දී මොන වගේ හැඟීමක්ද ඇතිවුණේ?

ඇත්තම කිව්වොත්, ඒ පරිසරය සහ ස්වභාවය එක්ක ක‍්‍රිකට් නරඹන්න ආසා හිතෙනවා.

 

ඇත්තද? දැන් ඔයා ක‍්‍රිකට් උගන්වනවා වගේම විචාරිකාවක් කියන්නෙ?

ඉස්සර මම ක‍්‍රිකට්වලට ආසම නැහැ. මොනවත් දැනගෙන හිටියෙත් නැහැ. නමුත් අද මම ක‍්‍රිකට් ක‍්‍රීඩාවට කෙතරම් සමීපද කිව්වොත්, එදා තරගයේ හයිලයිට් පවා බලනවා. දවසෙ වැඩි හරියක්ම ක‍්‍රිකට් ගැන තමයි කතා වෙන්නෙත්. නරඹන්නකු ලෙස ඒ නිසාම අඩුපාඩු එහෙමත් දැනෙනවා. ඉස්සරට වඩා ක‍්‍රිකට් ගැන දන්නවා කිව්වොත් හරි.

 

දකුණු අප‍්‍රිකානු වේගවත් තණතිලි අතරේ පන්දුවට පහරදීම සඳහා කෞෂාල් යද්දි ඔබට මොන වගේ හැඟීමක්ද ඇතිවන්නෙ?

ඇත්තම කිව්වොත් ඒ දිහා බලා සිටින්න තරම් බයයි. ඒ තරමටම වේගවත් විකට්ටු. බෙල්ල ගැලවිලා යයිද ඒ පන්දු හමුවේ? කියලා හිතෙන තරම්. හැබැයි පුහුණුවීම්වල දී කෞෂල්‍ය හොඳටම බැට් කළා. ඒ නිසා එයා හොඳට කරාවී කියන විශ්වාසය මට තිබුණා. ඒත් දකුණු අප‍්‍රිකානු වේග පන්දු යවන්නන් බවුන්සර් යවද්දී මම ඇස්දෙක පියාගෙන හිටියා. මුලින් පන්දුවට පහර දෙන පිතිකරුවන්ට තමයි ගිණි බෝල වගේ සැර පන්දුවලට මුහුණ දෙන්න වෙන්නෙ. මේ ටෙස්ට් තරග මාලාව පුරාවට කෞෂල්‍යගෙ ඇඟ පුරා බෝල වැදිලා තිබුණා. ඒත් එයා අමාරුව නොතකා උපරිමය කරන්න උත්සාහ ගත්තා. හැමදාම අයිස් කියලා තමයි ග‍්‍රවුන්ඞ් එකෙන් එළියට ආවේ.

 

මේ අසීරු තරගමාලාව නරඹද්දී ඔබ දුටු වෙනත් දේ මොනවද?

තරග නරඹන්න ඔස්ටේ‍්‍රලියාවේ සිටින කෞෂාල්ගෙ මාමා සහ පුංචි අම්මා පැමිණ සිටියා. මම එයාලා එක්ක තමයි තරඟ නැරඹුවේ.

 

දකුණු අප‍්‍රිකාවේ ඇවිදින්න එහෙම ගියේ නැද්ද?

කෞෂාල්ට විවේකයක් නැහැ. අනෙක තරග අතරවාරයේදී වෙනත්දේ වෙනුවෙන් මානසිකත්වය යොමු කරන්න බැහැ. මම විවේකයක් ලැබුණාම එයාගෙ පුංචි සහ මාමා එක්ක ඇවිදින්න ගියා. ඩර්බන් නගරයේ සාප්පු සවාරියේ ගියාම ඒ නගරයේ කඩ සාප්පු හිමියන් හිතුවෙ අපිත් ඉන්දියානුවන් කියලයි. ඩර්බන් ඉන්දියානුවන් වැඩි පිරිසක් ජීවත්වන තැනැක්. ඒ කළු ජාතික වෙළෙන්ඳන් හරිම හොඳ මිනිස්සු. හරිම අවංක මිනිස්සු. මතුපිටින් ශක්තිමත් පෙනුමක් තිබුණට එයාලා හරිම හොඳ අය බව පෙනෙනවා.

 

ඬේල් ස්ටයන් හමුවන්න ඔබ මග බලා සිටියා කියන්නෙ?

දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ සිටින වේගයෙන්ම පන්දු යවන ක‍්‍රීඩකයෙක්නෙ. නමුත් එයා මේ තරගාවලියට ක‍්‍රීඩා කළේ නැහැ.

 

දකුණු අප‍්‍රිකාවට ගිහින්, ඔබ වනජීවී ඡුායාරූපකරණයේ යෙදුණාය කියන්නෙ?

ඇත්තටම ඒ පරිසරය හරි පුදුම ලස්සනයි. කැලෑවේ ඇවිදින්න මම කොහොමටත් ආසයි. ඉතින් ඉඩ ලද වෙලාවට ඒ වගේ තැන්වලට ගිහින් පිංතූරත් ගත්තා. සත්තුන්ගෙන් පිංතූර කීපයක් ගත්තා. අප‍්‍රිකාව කියන්නෙ ඇත්තටම සොබාදහමේ අපූරු තෝතැන්නක්.

 

දැන් ඔබ හදන්නෙ ‘‘නේචර් ෆොටෝග‍්‍රැෆර්’’ තරගයට ඉදිරිපත් වෙන්නලූ නේද?

උත්සාහ කළොත් බැරි නැහැ. නමුත් ඒ දේවල් මම කරන්නෙ විනෝදාස්වාදයටයි. පරිසර දසුන්වලට මම කොහොමටත් ආසයි.

 

අනෙක් ක‍්‍රිකටර්ස්ලගෙ බිරින්දෑවරුන් ගිහින් ඉන්න ඇති?

හැමෝගෙම අය ගිහින් හිටියෙ නැහැ.

 

සිටි අය මොනවද කළේ?

අපි ඉතිං එකට එකතු වෙලා තරග ගැන කතා කළා. විවේකයේදී කාඞ් සෙල්ලම් කළා. කණ්ඩායමේ ජයග‍්‍රහණ වෙනුවෙන් හැමෝම නිතර සුබ ප‍්‍රාර්ථනා කළා.

 

දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සහ අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ඔබ සසඳන්නෙ කොහොමද?

ඇත්තටම අපේ ක‍්‍රීඩකයන්ට ඉතා වේගවත් තණතිලිවල වේග පන්දු යවන්නන් හමුවේ මීට වඩා ක‍්‍රීඩා කරන්න අවස්ථා තිබෙන්න ඕනෑ. ඒක අපේ රටේ ක‍්‍රීඩකයන්ට නැති එක ලොකු අවාසියක්. ඒ රටේ තණතිලි දිහා බලද්දි ඒ අඩුව හොඳට පෙනෙන දෙයක්.

 

 2017-02-05-ent-12
2017-02-05-ent-11