ක‍්‍රිකට් ගිවිසුම ගැන රැස්වීමේදීත් මාලිංග රාත‍්‍රි ආහාරය සොයයි


වාර්ෂික ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පෙරේදා (03) රාත‍්‍රි පැවැති සාකච්ඡවට සහභාගි වී පිටව යන අතරවාරයේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ වේග පන්දුයවන්නකු වන ලසිත් මාලිංග මාධ්‍යවේදීන්ට ප‍්‍රතිචාර දැක්වූ ආකාරය අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රීඩකයකුට තරම් නොවන මට්ටමක පැවතුණි.

මාධ්‍යවේදීන් සාකච්ඡවේදී සිදුවූ දේ පිළිබඳව ලසිත් මාලිංගගෙන් විමසා සිටි අවස්ථාවේදී ලසිත් මාලිංග පවසා ඇත්තේ ‘මොන ගිවිසුමක් ද අපිට ඩිනර් එකක් තිබුණා, ඒකට ගියා’යනුවෙනි.   

මාලිංග දෙසට කැමරාව යොමු කළ මාධ්‍යවේදීන් වෙත ද අප‍්‍රසාදය පළ කළ මෙම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා ඔවුන්ගෙන් විමසා සිටියේ ‘මොකද මගේ මුහුණ දැකලා නැද්ද’ කියාය.
ලසිත් මාලිංග, ශ්‍රී ලංකා ක‍්‍රිකට් වාර්ෂික ගිවිසුමේ ඉහළම කාණ්ඩයට ඇතුළත්ව සිටින ක‍්‍රීඩකයකු වන නමුත් ඔහු ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීම නිසා කොන්ත‍්‍රාත් මුදලින් 60% ප‍්‍රමාණයක් පමණක් හිමිවේ. ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් අතරින් මුදල් ගෙවන විදේශිය තරගාවලි වැඩිම ප‍්‍රමාණයකට සහභාගි වන ක‍්‍රීඩකයා ද මාලිංග වේ.

ටෙස්ට් සහ එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්, හිටපු නායක කුමාර් සංගක්කාර සහ විස්සයි20 නායක දිනේෂ් චන්දිමාල් මාධ්‍යවේදීන්ට මෙහිදී ඉතාමත් සුහදශිලි ලෙසත් මහත්වරු ලෙසත් ප‍්‍රතිචාර දැක්වූහ.

එහිදී සංගක්කාර පවසා ඇත්තේ තමන් ගොඩක් වෙහෙසට පත්ව සිටින බවත් ගිවිසුම පිළිබඳව ප‍්‍රශ්නයක් තිබූ බවත් ඒ පිළිබඳව සාකච්ඡ කිරීමට තමන් ගිය බවත්ය.

‘‘ඇතුළේ කථා කරපු දේවල් මට එළියෙ කියන්න බෑ, නමුත් ගිවිසුම පිළිබඳ ප‍්‍රශ්නයක් තිබුණා එය විසදා ගැනීමට ගියා’’ යැයි ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.