ක‍්‍රිකට් ආයතනයේ සභාපති වීමට මට කිසිඳු නීතිමය බාධාවක් නෑ


රටේ නීතියට, ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාවට සහ ක‍්‍රීඩා නීතියට අනුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට පත්වීමට තමන්ට කිසිඳු නීත්‍යානුකූල බාධාවක් නොමැති බවත් සභාපති ධූරය සඳහා තරග කිරීමේ අවස්ථාව තමන්ට ලැබෙන බවට විශ්වාස බවත් මෙවර ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයේදී සභාපති ධූරයට තරග කරන හිටපු සභාපතිවරයකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රි තිලංග සුමතිපාල මහතා පැවසීය.

ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට ඒ මහතා තරග කිරීම නීති විරෝධි යැයි ක‍්‍රීඩා සමාජය කීපයක් ඉදිරිපත් කර තිබූ විරෝධතා පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට පත්කළ ත‍්‍රිපුද්ගල කමිටුව හමුවේ ටොරින්ටන්හි ක‍්‍රීඩා විද්‍යායතනයේදී අද (11) පස්වරුවේ කරුණු දැක්වීමෙන් පසු සුමතිපාල මහතා මෙසේ ද පැවසීය.

‘‘මූලික කරුණු 4 ක් පදනම් කරගෙන විරෝධතා ඉදිරිපත් කර තිබුණා. මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වීම, ක‍්‍රිකට් උපකරණ අළෙවියට සම්බන්ධ වීම සහ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයට සම්බන්ධ වීම ලෙස ප‍්‍රධාන වශයෙන් මට චෝදනා ඉදිරිපත් කර තිබුණා. රටේ පවතින නීතියට අනුව මෙම කිසිඳු ව්‍යාපාරයකට මා සම්බන්ධ නැති බවට මෙම පරීක්‍ෂණයේදී ඔප්පු කළා. මගේ කරුණු දැක්වීම පිළිබඳව සෑම විටම කමිටුවේ නිලධාරීන් සෑහිමට පත්වුණා. මට විරුද්ධව ඉදිරිපත්කර තිබූ පුහු චෝදනාවලට පිළිතුරු දෙන්න මෙය හොඳ අවස්ථාවක් වුණා’’