(සුජිත් හේවාජුලිගේ)
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව) වැනි පාර්ලිමේන්තුවේ වැදගත් විමර්ශන ආයතනවලට දූෂණ වංචා චෝදනාවලට ලක් වූවන්ට එරෙහිව නීතිපතිවරයා හා සම්බන්ධවී සෘජුවම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලය ලැබෙන නීති ප්‍රතිසංස්කරණ වහා ඇති කරන්නැයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.
අදාළ පනත් කෙටුම්පත් හෝ ස්ථාවර නියෝග සංශෝධනය කිරීමෙන් එවැනි බලය ලබාදීමක් කළ හැකි බවද ඔහු ලංකාදීපයට සඳහන් කළේය පවතින නීතිය අනුව පාර්ලිමේන්තු කමිටුවලට අද කළ හැක්කේ නිර්දේශ ඉදිරිපත් කිරීම පමණක් බවද මහානාම හේවා මහතා පැවසීය.
කෝප් කෝපා කමිටු රැස්වීම්වලට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයකු සම්බන්ධ කරවීමට කටයුතු කිරීමද ඉතා වැදගත් අවශ්‍යතාවක් බව පැවසූ මහාචාර්යවරයා එමගින් එම දෙපාර්තමේන්තුවට රාජ්‍ය ආයතන වල දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් යම් නිශ්චිත අදහසක් ගැනීමට මෙන්ම ඒ පිළිබඳව කරැණු වාර්තා කිරීමට හැකියාව ලැබෙන බවද සඳහන් කළේය.
ස්ථාවර නියෝග වෙනස් කිරීමෙන් එවැන්නක් පැහැදිලිවම කළ හැකි බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටද නිර්දේශ ඉදිරිපත් කිරීමෙන් එහාට ගිය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලතල ලබාදීම වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.
භාෂා අයිතිය කඩ කිරීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට 1991 රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනතෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට බලය ලැබී ඇති පරිදි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටද එවැනි නීතිමය බලයක් ලබාදීම වැදගත් බව ඔහු අවධාරණය කළේය.
දූෂණ වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට අවංක උත්සාහයක් පවතී මෙවැනි ප්‍රතිසංස්කරණ නොපමාව ක්‍රියාත්මක කළ යුතු බවද මහාචාර්යවරයා සඳහන් කළේය.