කෝටියක රන් කටුනායකදි අල්ලයි


රුපියල් එක්කෝටි පන් ලක්ෂයක්  වටිනා රත්තරන් කැබැලි 21 ක් කලිසම්  ඉනෙහි අලවාගෙන  සහ සබන් කැටයක් තුළ සගවාගෙන සිංගප්පුරුවේ සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයෝ තිදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අද අළුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරුවෝ පන්නල හා කොච්චිකඩේ යන පෙදෙස්වල පදිංචි වයස අවුරුදු 43,45 සහ 47 වියේ පසු වෙති.

මොවුහු පසුගිය 12 වෙනිදා ව්‍යාපාරික කටුයුතු සඳහා සිංගප්පුරුවට ගොස් ඇති බව රේගුව කියයි.

පන්නල පදිංචි පුද්ගලයා විදුලි උපකරණ ව්‍යාපාරිකයෙක් බවත්  ඔහු ව්‍යාපාරික කටයුතු සඳහා මින් පෙර කිහිප වතාවක් සිංගප්පුරුවට ගොස් ඇති බව අනාවරණය වී ඇත.  සෙසු දෙදෙනා සිංගප්පුරුවට ගිය පළමු වතාව මෙයයි.

පන්නල ව්‍යාපාරිකයාගේ උපදෙස් මත සෙසු දෙදෙනා ක්‍රියා කොට ඇති බවට රේගුව සැකකරයි.

අත් අඩංගුවට ගනු ලැබූ රත්තරන් කැබලි වල බර කිලෝග්‍රෑම් දෙකයි  ග්‍රෑම්  සීයකි.

මින් සැකකරුවෝ දෙදෙනෙක් ග්‍රෑම් එකක් බැගින් බර වු රන් කැබලි 10 බැගින් තම කලිසමේ ඉන වටේ අලවාගෙන ද,  අනෙකා එක් රන් කැබැල්ලක්  සබන් කැටයක් තුලද සගවාගෙන රැගෙන විත් තිබු බව රේගුව කියයි.

සැකකරුවෝ එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 348 දරණ ගුවන්යානයෙන් ඊයේ අළුයම 3.30 ට පමණ මෙරටට පැමිණ ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ  රේගු අධිකාරී ඉන්ද්‍රා උක්වත්ත, සහකාර රේගු අධිකාරීවරුන් වන තුෂාර පෙරේරා, ඒ.කේ සමන්ජිත්, ජනිත් විමලදාස, ටී.පී නන්දසිරි, ශ්‍රී ලාල්  විජේවර්ධන යන නිලධාරීහු සිදු කරති.